ට්‍රම්ප් පූතින් කතාබස් ගැන ක්‍රෙම්ලින් නිවේදනයක්

Russian President Vladimir Putin (R) and US President Donald Trump (L) talk at the Apec summit on 11 November

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලද්මීර් පූතින්

සිරියාවේ ක්‍රියාත්මක IS ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය පරාජය කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලද්මීර් පූතින් එකඟ වූ බව ක්‍රෙම්ලිනය පවසයි.

වියට්නාමයේ පැවැත්වෙන ආසියා ශාන්තිකර කලාපීය ආර්ථික සහයෝගීතා (ඇපෙක්) සමුළුව අතරවාරයේ ඔවුන් අතර පැවති කෙටි හමුවකින් පසු එම නිවේදනයනිකුත් කරන ලද බව ක්‍රෙම්ලිනය වැඩිදුරටත් කියා සිටී.

කෙසේ නමුත් ඇමරිකා එක්සත් ජනපදය එම නිවේදනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිල තහවුරු කිරීමක් සිදුකර නොමැත.

එසේම සිරියානු අර්බුදයට හමුදා විසඳුමක් ලබා දිය නොහැකි යයි දෙරටේ නායකයන් එකඟ වූ බවත් ක්‍රෙම්ලිනය පවසයි.

ආසියා ශාන්තිකර කලාපීය ආර්ථික සහයෝගීතා සමුළුවේ දී ඇමරිකාවේ සහ රුසියාවේ නායකයන් අතර හමුව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වූ නමුත් ඒ සම්බන්ධයෙන් කරුණු වාර්තා වූයේ මද වශයෙනි.

සිකුරාදා පස්වරුවේ සිට වියට්නාමයේ 'ඩා නැන්ග්' වරාය නගරයේ පැවැත්වෙන සමුළුව අතරවාරයේ ට්‍රම්ප් සහ පූතින් තෙවරක් මුණ ගැසී ඇත.

පසුගිය ජුලි මාසයේ දී ජර්මනියේ හැම්බර්ග් නගරයේ පැවති G20 සමුළුවෙන් පසු දෙරටේ නායකයන් මුණගැසුණු පළමු අවස්ථාව මෙයයි.

US President Donald Trump and Russian President Vladimir Putin take part in a family photo at the APEC summit in Danang, Vietnam, 10 November 2017

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, විශේෂයෙන් සකසන ලද කමිස අඟලා සිකුරාදා සමූහ ඡායාරූපයකට පෙනී සිටි ඇමරිකානු සහ රුසියානු ජනාධිපතිවරු

2016 පැවති ඇමරිකානු ජනාධිපතිවරණය සමයේ ට්‍රම්ප් ප්‍රචාරණ ව්‍යාපාරය රුසියාව හා සබඳතා පවත්වා ඇති බවට චෝදනා එල්ල වන අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙමින් පවතී.

ක්‍රෙම්ලිනය එම චෝදනා බැහැර කරයි.

ඇමරිකානු ධවල මන්දිරය නිල වශයෙන් අදහස් දක්වා නැතත් සෙනසුරාදා (නොවැ 11) ක්‍රෙම්ලිනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ "සිරියාවේ පවතින අර්බුදයට හමුදාමය විසඳුමක් නොමැත යන අදහස සමඟ නායකයන් දෙදෙනා එකඟ වූ" බවය.

එසේම "අයිඑස් සංවිධානය පරාජය කිරීම සඳහා වන සිය කැපවීම" නායකයන් දෙදෙනාම සපථ කළ බවත් ඉහත කී නිවේදනයේ දැක්වෙයි.

පුතින් ට්‍රම්ප්

වසර හයක් පුරා පවතින සිවිල් යුද්ධයේ දී ජනාධිපති අසාද් ප්‍රමුඛ සිරියානු ආණ්ඩුවට සහාය ලබා දෙන ප්‍රධාන මිත්‍ර රාජ්‍යය රුසියාවයි.

අසාද් පාලනයට එරෙහි සිරියානු සහ කුර්දි කැරලි කණ්ඩායම්වලට ඇමරිකාවේ සහාය ලැබෙයි.

එමෙන්ම 2014 වසරේ සිට ඇමරිකාව ප්‍රමුඛ සන්ධානය විසින් අයිඑස් කැරලිකරුවන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කෙරෙමින් ඇත.

ඉස්ලාමීය රාජ්‍යයක් වෙනුවෙන් සටන් වදින බව පවසන අයිඑස් කැරලිකරුවන්ගේ මූලස්ථානය බවට පත්ව තිබූ 'රකා' නගරයේ බලය සම්පූර්ණයෙන්ම සියතට ගත් බව ඇමරිකාවේ සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාව පසුගිය සැප්තැම්බර් මස ප්‍රකාශයට පත් කළේය.