තායි බොක්සිං වළල්ලේ සමතැන ඉල්ලන සටන්කාරියෝ

මගතොට දී සහ සේවා ස්ථානයේ දී මෙන්ම ක්‍රීඩා පිටිය තුළත් කාන්තාවන් මුහුණ දෙන අභියෝග අපමණය.

ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ කාන්තාවන් ලිංගික වධහිංසාවලට ලක් වූ අවස්ථා ඇතැම් විට අසන්නට ලැබෙන අතර ලිංගිකත්වය මත පදනම් වූ නොසලකාහැරීම්වලට ද කාන්තාවෝ මුහුණ දෙති.

අන් ක්ෂේත්‍ර තුළ මෙන්ම ක්‍රීඩා ක්ෂේත්‍රය තුළත් කාන්තාවන්ට සමතැන හිමි කර දීම වෙනුවෙන් පෙර කවරදාකටත් වඩා සමාජය තුළ සංවාදයක් මතුව තිබේ.

ඇතැම් ක්‍රීඩා සම්බන්ධයෙන් කාන්තාවන් වෙත පනවන ලද නොනිල තහංචි විවිධ සමාජ තුළ දැකිය හැක.

තායිලන්තයේ ප්‍රධාන ක්‍රීඩාංගන දෙකක බොක්සිං වළල්ලට පිවිසීමෙන් එරට කාන්තාවන් වළකා ඇත.

චමගෝන් චයිරින්, තායි බොක්සිං වළල්ලේ සමතැන දිනා දීමට වෙර දරන තරුණියකි.

ඇය කාන්තාවන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් තායි බොක්සිං සඳහා පුහුණු කරන්නීය.

"බොක්සිං වළල්ල තුළ කාන්තාවන්ට අඩුවෙන් අවස්ථා හිමිවීම නිසයි මා මේ සඳහා වඩාත් යොමු වුණේ" යනුවෙන් කී චමගෝන් චයිරින් කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා යමක් කිරීමට තමන්ට අවශ්‍ය වූ බව සඳහන් කළාය.

තායි බොක්සිං සම්ප්‍රදායට අනුව ක්‍රීඩිකාවන් වළල්ල තුළට පිවිසිය යුත්තේ ඒ වටා ඇති පහතින්ම පිහිටි කඹයට යටිනි.

ප්‍රධාන වශයෙන් කාන්තාවන් මුහුණ දෙන ගැටලු හතරක් මේ වසරේ 'BBC සියයක් කාන්තාවෝ' වැඩසටහනේ අවධානයට ලක් වූ අතර, ක්‍රීඩාවේ දී කාන්තාව මුහුණ දෙන පුරුෂාධිපත්‍යය ඉන් එකකි.

කාන්තාවන්ට ඉඩක් ලබා දෙන්නේ නම් ඕනෑම අභියෝගයක් ජය ගත හැකි බව 2016 වසරේ දී එවරස්ට් කඳු මුදුනට ළඟා වූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් ජයන්ති කුරුඋතුම්පාල පසුගියදා පැවසුවාය.

බීබීසී සියයක් කාන්තාවෝ විශේෂාංගය සඳහා තෝරා ගන්නා ලද පළමු ශ්‍රී ලාංකික කාන්තාව ද ඇයයි.

මේ අතර ජාත්‍යන්තර රෙස්ලින් වළල්ලට පිවිසෙන ක්‍රීඩිකාවක් පිළිබඳ අසල්වැසි ඉන්දියාවෙන් පසුගියදා වාර්තා විය.

ජාත්‍යන්තර රෙස්ලින් වළල්ලට පිවිසෙන පළමු ඉන්දීය කාන්තාව වන කවිතා දේවිට බිරිඳක් සහ මවක් බවට පත් වූ පසු ක්‍රීඩාව හඹා නොයන ලෙස බල කෙරිණි.

කෙසේ නමුත් රෙස්ලින් වළල්ල තුළ සාර්ථකත්වයක් ළඟා කර ගැනීමට ඇයට හැකියාව ලැබී ඇත්තේ දීර්ඝ සටනකට පසුවය.

සබැඳි යොමු: