සිරියාව: "ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් වැඩි ජීවිත හානි"

File photo taken by the US Air Force shows a pair of US Air Force F-15E Strike Eagles flying over northern Iraq early on 23 September 2014

ඡායාරූප මූලාශ්‍රය, AFP

රුසියාවේ සහ සිරියානු ආණ්ඩුවේ ගුවන් ප්‍රහාරවලට ලක්ව මිය ගිය පිරිසට වඩා වැඩි සාමාන්‍ය වැසියන් සංඛ්‍යාවක් ඇමරිකාව ප්‍රමුඛ සන්ධානයේ ගුවන් ප්‍රහාරවලට ලක්ව මරණයට පත්ව ඇති බව සිරියානු ක්‍රියාධරයෝ පවසති.

සිරියාවේ මානව හිමිකම් පිළිබඳ නිරීක්ෂණ මධ්‍යස්ථානය කියා සිටියේ සිය ආයතනය විසින් සකස් කරන ලද වාර්තාවකට අනුව ඇමරිකාව ප්‍රමුඛ සන්ධානය ගුවනින් බෝම්බ හෙලීමේ ප්‍රතිඵලයක් වශයෙන් සාමාන්‍ය වැසියන් 290 දෙනෙකු මරුමුවට පත්ව ඇති බවය.

ඒ අතර දරුවන් 46 දෙනෙකු ද සිටින බව සිරියාවේ මානව හිමිකම් පිළිබඳ නිරීක්ෂණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.

රුසියාවේ සහ සිරියානු ආණ්ඩුවේ හමුදාවල ගුවන් ප්‍රහාරවලට හසුව සාමාන්‍ය වැසියන් 151 දෙනෙකු මරණයට පත්ව ඇති බවත් එම ආයතනය කියා සිටී.

ඒ අතර දරුවන් 40 දෙනෙකු සිටින බව සිරියාවේ මානව හිමිකම් පිළිබඳ නිරීක්ෂණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

රකා නගරයෙන් අයිඑස් කැරලිකරුවන් පළවා හැරීම සඳහා ඇමරිකාව ප්‍රමුඛ සන්ධානයේ සහාය ලබන හමුදා සටන් දියත් කිරීමත් සමග ඊට ගොදුරු වන සාමාන්‍ය වැසියන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.

"සැළකිය යුතු ප්‍රවණතාවක්"

People who fled Raqqa city gather at a camp near Ain Issa, Raqqa province, Syria (19 May 2017)

ඡායාරූප මූලාශ්‍රය, Reuters

මේ අතර සිරියානුවන් ලක්ෂ පහකට ආසන්න සංඛ්‍යාවක් මේ වසර තුළ නැවත සිය ගම්බිම් බලා පැමිණ ඇති බව එක්සත් ජාතීන් පවසයි.

එක්සත් ජාතීන් විසින් එය විස්තර කරනු ලැබුවේ "සැළකිය යුතු ප්‍රවණතාවක්" ලෙසය.

උන්හිටිතැන් අහිමි වූ හාරලක්ෂ හතළිස් දහසකට අධික සංඛ්‍යාවක් සහ සිරියාව හැර පළා ගිය තිස් එක් දහසකට ආසන්න පිරිසක් නැවත සිය ගමබිම් බලා පැමිණ ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගතයන් සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනය පැවසීය.

සිය දේපළ සහ ඥාතීන් පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ඉන් බොහෝ දෙනෙකු අලෙප්පෝ, හමා, හොම්ස්, සහ දමස්කස් වැනි නගර වෙත යළි පැමිණ තිබේ.

කෙසේ නමුත් එම ප්‍රදේශවල ආරක්ෂාව සම්බන්ධයෙන් තවමත් සෑහීමකට පත් විය නොහැකි බවත් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනය වැඩිදුරටත් කියා සිටී.