“එයාර් ඉන්දියා” විකුණා දැමීමට කැබිනට් අනුමැතිය

"එයාර් ඉන්දියා" (Air India) ගුවන් සේවයේ පෞද්ගලීකරණ සැලසුම් සඳහා ඉන්දීය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණි.
විශාල ණය බරකින් යුක්ත "එයාර් ඉන්දියා" (Air India) ගුවන් සේවය තරඟකාරී අඩුමිල ගුවන් සමාගම් සමඟ තරඟ වදිමින් සිය ආදායම් වැඩිකර ගැනීමේ දුෂ්කර වාණිජ අරගලයක නිරතව සිටි අතර අවසානයේ එය පෞද්ගලික අංශයට පැවරීමට ඉන්දියානු බලධාරීන් විසින් තීන්දු කරනු ලැබ ඇත.
ජාතික ගුවන් සේවය විකිණීම සඳහා ආණ්ඩුව "මූලික අනුමැතිය" දුන් බව ඉන්දියාවේ මුදල් ඇමති අරුන් ජෙට්ලි (Arun Jaitley) පවසයි.
ගුවන් සමාගමේ අයිතියෙන් පෞද්ගලික අංශයට විකුණා දමන ප්‍රමාණය කොතෙක්ද යන්න ඇතුළු කාරණා තීන්දු කිරීම සඳහා ආණ්ඩුව විසින් කමිටුවක් පත් කරනු ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
"එයාර් ඉන්දියා" (Air India) ගුවන් සේවයේ විශාල ණය බර සහමුලින්ම හෝ ඉන් කොටසක් හෝ අහෝසි කරන්නේද? නැද්ද? යන්න එම කමිටුව විසින් තීන්දු කරනු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ගුවන් සමාගම මේවනවිට ඉන්දීය මුදලින් රුපියල් කෝටි 52000ක (ඇමෙරිකානු ඩොලර් කෝටි 800) යෝධ ණය බරකින් යුක්ත බව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
2012 වසරේ එවකට බලයේ සිටි ඉන්දීය ආණ්ඩුව ගරා වැටෙමින් පවතින ගුවන් සමාගමට ඇමෙරිකානු ඩොලර් කෝටි 580 ක සහන මූල්‍ය සැපයුමක් සිදු කර ඇති අතර, පසුව බලයට පැමිණි අගමැති නරේන්ද්‍ර මෝඩි නායකත්වය දෙන වර්තමාන ඉන්දීය ආණ්ඩුව ජාතික ගුවන් සේවය පෞද්ගලික අංශයට පැවරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කරමින් තිබුණි.
"එයාර් ඉන්දියා" (Air India) ගුවන් සේවය පසුගිය කාලය තුළ පවත්වා ගෙන යනු ලැබුණේ බදු ගෙවන්නන්ගේ අරමුදල් මගිනි.
මෙයින් පෙරත් සිය ජාතික ගුවන් සේවය පෞද්ගලික අංශය යටතට පැවරීමට ඉන්දියානු බලධාරීන්ගේ අවධානය යොමු වී ඇතත් පසුව එම සැලසුම් අත්හැර දමනු ලැබුණි.
එහෙත් මෙවර එම පෞද්ගලීකරණ ව්‍යාපෘතිය පෙරට ගෙන යාමට ඇමතිවරුන් කටයුතු කළොත් මහා පරිමාණයේ විරෝධතා ව්‍යාපාර දියත් කරන බවට වෘත්තීය සමිති අනතුරු අඟවයි.
"එයාර් ඉන්දියා"(Air India) කලක් ඉන්දියාව සතුව පැවති එකම ගුවන් සේවයයි.

එහෙත් තරඟකාරී ගුවන් සමාගම් ක්ෂේත්‍රයට අවතීර්ණ වීමත් සමඟ දුෂ්කර අවධියකට මුහුණ දුන් "එයාර් ඉන්දියා" (Air India) ගුවන් සේවය, සිය ගුවන් ගමන් නිතර අවලංගු කිරීම් සහ මගීන්ට සත්කාර කිරීම අතින් දුබල වීමත් සමඟ සිය කීර්තිය අහිමි කරගනු ලැබ ඇත.
"එයාර් ඉන්දියා" (Air India) ගමනාන්ත හතළිස් එකක්(41) පවත්වා ගෙන යමින් ඇති අතර එය ඉන්දියාවේ විශාලතම ගුවන් ගමන් ව්‍යාපාරයයි.
ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් ගමන් වෙළෙඳපොළේ 14.6% ක් හිමි වන්නේත් "එයාර් ඉන්දියා" (Air India) ජාතික ගුවන් සේවයටයි.









