ක්‍රිකට් අරමුදල්: ජගත් පාලක මණ්ඩලයෙන් ඉන්දියාවට වැඩි වාසි

සිය සාමාජික රටවල් වෙත බෙදා දෙන අරමුදල්වලින් සියයට විසි පහකට ආසන්න ප්‍රමාණයක් ඉන්දියාවට ලබාදීමට අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය එකඟ වී තිබේ.

2016 සිට 2023 දක්වා සැපයෙන අරමුදලින් ඩොලර් මිලියන 405 ක් BCCI ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ලබාදීමට ජගත් පාලක මණ්ඩලය එකඟ වී තිබෙන්නේ ඉන්දියාවට සැපයෙන අරමුදල් කපාහැරීමට දැරූ උත්සාහය සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි විරෝධය පළකිරීමෙන් අනතුරුවය.

ඉන්දියාවට පසුව අදාළ කාලසීමාව තුළ වැඩිම අරමුදල ලැබෙන්නේ එංගලන්තයටය. එය ඩොලර් මිලියන 139 කි.

අයිසීසී විධායක සභාව විසින් බ්‍රහස්පතින්දා (ජුනි 23) අනුමත කරන ලද අරමුදල් බෙදාහැරීමේ නව මොඩලය ප්‍රකාර ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, පක්ස්තානය, බංග්ලාදේශය, නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙවු රටවලට ඩොලර් මිලියන 128 ක් බැගින් ලබාදීමට නියමිතය.

අලුත් ටෙස්ට් රටවල්

සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලයට පිරිනැමෙන්නේ ඩොලර් මිලියන් 94 ක් පමණි.

අලුතෙන් ටෙස්ට් වරම් ලැබූ අයර්ලන්තය සහ ඇෆ්ඝනිස්තානයට ඩොලර් මිලියන 240 ක මුදලක් සීමිත සාමාජිකත්වය හිමි අනෙක් රටවල් සමග බෙදාගැනීමට සිදු වේ.

අදාළ කාලසීමාව තුළ ඉන්දියාවට ඩොලර් මිලියන 293 ක් ලබාදීමේ යෝජනාව පිළිබඳව පසුගිය අප්‍රේල් මාසයේ ජගත් පාලක මණ්ඩලයේ විධායක සභාවේ පැවති ඡන්ද විමසීමේදී එයට පක්ෂව ඡන්ද 13 ක් ලැබුණු අතර විරුද්ධ වූයේ ඉන්දියාව පමණි.

එම තීන්දුවත් සමගම ඉන්දියාව චැම්පියන්ස් කුසලානය වර්ජනය කිරීමට සැරසෙන බවට වාර්තා පළවිය.

විධායක සභාවේ තීන්දුවෙන් අනතුරුව ඉන්දියාව චැම්පියන්ස් කුසලානය සඳහා සිය කණ්ඩායම නම්කිරීම ප්‍රමාද කෙරුණු අතර, ඒ පිළිබඳව ජගත් ක්‍රිකට් කවුන්සිලය සමග දිගටම සාකච්ඡා කරමින් සිටින අතරවාරයේ, එයට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාව ද සලකා බලමින් සිටින බව ඉන්දීය පාලක මණ්ඩලය ඒ අවස්ථාවේ සඳහන් කළේය.

ඉන් අනතුරුව ඉන්දියාව චැම්පියන්ස් කුසලානය සඳහා සිය කණ්ඩායම නම් කළ අතර, එම කණ්ඩායම අවසාන මහා තරගයේදී පකිස්තානයට පරාජයට පත්විය.