ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ක්‍රිකට්: "ෆිට්නස් හොඳ නැත්තම් අනුමැතිය නැහැ"
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙකුම ශරීර යෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිටිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.
අද බදාදා (ජුනි 21) කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඇමතිවරයා කියා සිටියේ යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වුවොත් පමණක් අදාළ කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා අනුමැතිය ලැබෙන බවය.
"කොයිතරම් දක්ෂ කෙනෙක් වුවත් අපට කරන්න දෙයක් නැහැ. මොකද අපි දන්නවා මෙහෙ ෆිට්නස් හදන් ගිහින් ගහන්නේ ඉන්දියාවට. ඒ අය ලංකාවට නෙමෙයි වැඩිපුර සෙල්ලම් කරලා තියෙන්නේ සල්ලිවලට" යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ උදරයේ තිබිය යුතු මේද ප්‍රමාණය 12% ක් වුවත් ඇතැම් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ එම ප්‍රමාණය 20% ක් වූ බවත් ඇමතිවරයා පැවසීය.
කෙසේ නමුත් එවැනි පරීක්ෂණයකට පෙනී සිටීමට සැලැස්වීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අදක්ෂ යැයි අදහස් නොකරන බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර වැඩිදුරටත් කියා සිටියේය.