ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මාලිංගට පරීක්ෂණයක්
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ යෝග්‍යතාව පිළිබඳ ක්‍රීඩා අමාත්‍යවරයා සහ ලසිත් මාලිංග විවිධ අවස්ථාවලදී කළ ප්‍රකාශ සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය මේ වනවිට තවත් අදියරකට පැමිණ ඇත.
ලසිත් මාලිංග කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලසිත් මාලිංග සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව තමන්ට දන්වා ඇතැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර බීබීසී සිංහල සේවයට පැවසීය.
ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය ලසිත් මාලිංගගෙන් අදහස් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ ක්‍රිකට් ආයතනයේ අනුමැතියකින් තොරව තමන්ට ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ නොහැකි බවය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග පවතින ගිවිසුමට අනුව මාධ්‍ය වෙත අදහස් පළ කිරීමට පෙර ක්‍රීඩකයන් ඒ සඳහා ක්‍රිකට් ආයතනයෙන් අවසර ලබා ගත යුතු අතර එලෙස අවසරයක් ලබා නොගෙන මාධ්‍ය වෙත අදහස් දැක්වූ බවට ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගට චෝදනා එල්ල වේ.
දිගින් දිගටම ක්‍රීඩකයන් ආබාධයට ලක් වීම හමුවේ ක්‍රීඩකයන්ගේ ශරීර යෝග්‍යතාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයෙන් කිසිදු ක්‍රීඩකයකු පෞද්ගලිකව ඉලක්ක නොකළ බව අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසීය.
බ්‍රහස්පතින්දා (ජුනි 22) තවත් ක්‍රීඩකයකු පුහුණු වීම් අතරතුර ආබාධයට ලක්ව ඇති බව කියා සිටි ඇමතිවරයා තමන් ශාරීරික යෝග්‍යතාව පිළිබඳ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටියේ එවැනි තත්ත්වයන් මග හරවා ගැනීමේ අරමුණින් බවත් සඳහන් කළේය.
දඟ පන්දු යවන ක්‍රීඩක සීකුගේ ප්‍රසන්න බ්‍රහස්පතින්දා (ජුනි 22) පැවති පුහුණුවීම් අතරතුර ආබාධයට ලක්ව ඇති අතර ඒ හේතුවෙන් ඔහුට සිම්බාබ්වේ සංචාරය බොහෝ දුරට අහිමි වීමට ඉඩ ඇති බව වාර්තාවේ.
පසුගියදා පැවති චැම්පියන්ස් කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකු ආබාධයට ලක්වූ අතර 2015 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පස් දෙනෙකු ආබාධයට ලක් විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙකුම ශරීර යෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිටිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මීට ඉහතදී පැවසීය.
බදාදා (ජුනි 21) කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඇමතිවරයා කියා සිටියේ යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වුවොත් පමණක් අදාළ කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා අනුමැතිය ලැබෙන බවය.