ඉවතලූ පොත්වලින් පුස්තකාලයක් ගොඩ නැගූ කසල එකතුකරන්නෙක්

Jose Alberto Gutierrez

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ජොසේ ඇල්බර්ටෝ ගුටියරස්ගේ නිවස පොත්පත්වලින් පිරී පවතී

ප්‍රාථමික අධ්‍යාපනයෙන් ඔබ්බට යාමට වරම් නොලද කසල එකතු කිරීම ජීවිකාව කර ගත් කොලොම්බියානු ජාතිකයෙක් ඉවතලන පොත්පත් එකතු කර පුස්තකාලයක් නිර්මාණය කිරීමේ පුවතක් බොගෝටා අගනුවරින් වාර්තා වේ.

ජොසේ ඇල්බර්ටෝ ගුටියරස්ගේ පුස්තකාලය තුළ ඇති පොත් එකතුව විසි දහසකට අධිකය.

ජොසේ පොත් එකතු කිරීම ආරම්භ කළේ ලියෝ තොල්ස්තෝයි විසින් රචිත 'ඇනා කැරනිනා' නවකතාවේ ඉවතලු පිටපතක් හමුවීමෙන් අනතුරුවයි.

ජොසේ සිය ප්‍රජා පුස්තකාලය සතු පොත් සෙසු පුද්ගලයන් වෙත නොමිලේ ලබා දෙයි.

"මට පෙනුණා මිනිස්සු පොත්පත් කැලිකසල සමග විසි කර දමන බව. මම ඒ පොත් බේර ගත්තා" යනුවෙන් ඔහු කියා සිටියේය.

"පොත් රජු"

Jose Alberto Gutierrez

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය රැකියාවේ යෙදෙන ජොසේ

අගනුවර ධනවතුන් වෙසෙන ප්‍රදේශවල ඇති කැලිකසල බහාලන තුළ වූ පොත්පත් එකතු කිරීම ආරම්භ කළ ජොසේට "පොත් රජු" ලෙස අන්වර්ථ නමක් ද පටබැඳිණි.

එසේ තමන් එකතු කළ පොත් දුගී ජනතාව වෙසෙන ප්‍රදේශ වෙත ගොස් බෙදා දීමට තරම් ඔහු කාරුණික විය.

ඔහුගේ ප්‍රජා පුස්තකාලය හඳුන්වනු ලබන්නේ "වචනවල ශක්තිය" නමිනි.

සිය දරුවන්ගේ පාඩම් කටයුතු සඳහා උපකාර කිරීමට අවශ්‍ය මව්පියන් ජොසේගේ පුස්තකාලය ප්‍රයෝජනයට ගනිති.

ඔහුගේ නිවස පොත්වලින් පිරී ඇති බැවින් දුගී ප්‍රදේශ හෝ පුස්තකාල පහසුකම් නොමැති දුරබැහැර ප්‍රදේශ වෙත ද එම පොත් ගෙන ගොස් දෙයි.

"පොත් දෙන්න දෙන්න අප වෙත පැමිණෙන පිරිසත් වැඩි වෙනවා"

'සාමයේ සංකේතයක්'

Jose Alberto Gutierrez

ඡායාරූප මූලාශ්‍රය, AFP

කොලොම්බියාවේ සාම ක්‍රියාවලිය ආරම්භ වීමත් සමග සටන් බිමෙන් ඉවත්වන කැරලිකරුවන් වෙත ද ජොසේ පොත් ලබා දෙයි.

සාමාන්‍ය ජන ජීවිතයට හුරු වූ පසු රැකියාවක් සොයා ගැනීම සඳහා උපකාරී වන පොත්පත් ලබා ගැනීමට ෆාක් ගරිල්ලා සංවිධානයේ සාමාජිකයෙක් ඔහුගේ සහාය පතා තිබේ.

"පොත් මාව වෙනස් කළා. මම හිතනවා පොත් කියන්නේ බලාපොරොත්තුවේ සංකේතයක්. පොත් කියන්නේ සාමයේ සංකේතයක්" ජොසේ පවසයි.

පනස් හැවිරිදි වියේ පසු වන "පොත් රජු" කලකට පෙර තමන්ට අතපසු වූ පාසල හැර යාමේ විභාගයට පෙනී සිටීමට නියමිතය.