ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලන්ඩන් ගින්න: 'ශ්‍රී ලාංකිකයන්ට අනතුරක් නෑ'
හය දෙනෙකුටවත් මරු කැඳවමින් බදාදා අලුයම ලන්ඩනයේ තට්ටු නිවාසයක ආරම්භ වූ ගින්නෙන් ශ්‍රී ලාංකිකයන්ට අනතුරක් වී ඇතැයි මෙතෙක් වාර්තා වී නැති බව විදේශ අමාත්‍යාංශය පවසයි.
ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය උපුටා දක්වමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන විදේශ අමාත්‍යාංශය, ගින්න සම්බන්ධ තොරතුරු හෝ උපකාර අවශ්‍ය නම් තානාපති කාර්යාල නිලධාරීන් අමතන මෙන් ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් ද කරයි.
ගින්නට ගොදුරු වූ තට්ටු 24 කින් සහ නිවාස 120 කින් සමන්විත ග්‍රෙන්ෆෙල් ටවර් (Grenfell Tower ) නිවාස සංකීර්ණයේ තට්ටු 20 ක නිවාස පැවතින.
දැනට ප්‍රකාශිත තොරතුරු අනුව ගින්න ආරම්භ වී තිබෙන්නේ හතරවෙනි තට්ටුවෙනි.
අඩුම තරමින් හය දෙනෙකු ගින්නට ගොදුරුව මියගොස් ඇති බව පවසන ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය, එම සංඛ්‍යාව ඉහල නැගීමට ඉඩ තිබෙන බවත් සඳහන් කරයි.
තවත් 70 කට වැඩි පිරිසක් ලන්ඩන් නගරයේ රෝහල්වලට ඇතුළත් කර තිබෙන අතර, ඔවුන්ගෙන් 20 දෙනෙකු අසාධ්‍ය තත්වයේ පසුවෙති.
ගිනි නිවන රථ 40 ක් සහ ගිනි නිවන හමුදා භටයන් 200 දෙනෙක් ගින්න මැද පැවැත්වීම පිණිස යොදවා තිබෙන බව ගිනි නිවන හමුදාවේ අණ දෙන නිලධාරිනිය සඳහන් කළාය.
ගින්න හටගෙන පැය 13 කට වැඩි කාලයකට පසුවත් ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට ගිනි නිවන හමුදාව උත්සාහ දරමින් සිටියි.
තුවාල ලැබූවන් පිළිබඳව තොරතුරු දැනගැනීම පිණිස 0800 0961 233 අංකය අමතන මෙන් ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය දැනුම් දී තිබේ.
ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
ඔබ ලන්ඩන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයෙක්ද?
ලන්ඩන් ගින්න සමග මතු වී තිබෙන තත්වය පිළිබඳ ඔබේ අත්දැකීම් හා අදහස් අප වෙත දන්වන්න.
දුරකතන :
+44 (0) 20 36144039
+ 44 (0)20 36140556
+ 44 (0)20 36140555
+ 44 (0)20 36140554
+ 44(0) 20 36140551
+ 44(0) 20 36140552
Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න
ඊමේල් : [email protected]