ජූනි 08 බ්‍රිතාන්‍ය මැතිවරණයේ වෙනසක් සිදු නොවේ

ලංඩන් ප්‍රහාරය නිසා ජූනි අටවෙනිදා පැවැත්වීමට නියමිත බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ඡන්ද විමසීම්වල වෙනසක් සිදු නොවන බව අගමැතිනි තෙරේසා මේ පවසයි.

ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයේ වෙනසක් සිදු නොවිය යුතු බව අගමැතිවරිය ප්‍රකාශ කළාය.

" ප්‍රචණ්ඩ ක්‍රියා නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ ගමන නතර කරන්න බැහැ. හෙට පටන් සියලු ප්‍රචාරක කටයුතු නැවත ආරම්භ කෙරෙනවා. කලින් සැලසුම් කළ ආකාරයට මැතිවරණය බ්‍රහස්පතින්දා පැවැත්වෙනවා"

කෙසේවුවද, එල්ල වූ ප්‍රචණ්ඩ ප්‍රහාරය හමුවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම මේ මොහොතේ ප්‍රචාරක කටයුතු නතර කර ඇති බවත් අගමැතිනි තෙරේසා මේ සඳහන් කළාය.

ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින් ප්‍රකාශයක් කරමින් සෙනසුරාදා ලන්ඩන් නගරයේ එල්ල කෙරුණ ප්‍රහාරය මගින් තමා කම්පාවට පත් වූ බව කියා සිටියේය.

"මේ ප්‍රචණ්ඩ ප්‍රහාර වලට ඉඩ දුන්නොත් එමගින් සිදු වන්නේ අපේ ප්‍රජාතන්ත්‍රීය වැඩ පිළිවෙළ විනාශ වීම. එහෙම වුනොත් එය රටේ පරාජයක්" ජෙරමි කෝබින් සඳහන් කරයි.

"මැන්චෙස්ටර් ප්‍රහාරයේ දී අපි ඔක්කොම එකට එකතු වුනා වගේ මේ ප්‍රහාරයේදීත් අපි එකමුතුව ප්‍රජා ශක්තිය තර කළ යුතුව තියෙනවා" විපක්ෂ නායකයා පෙන්වා දුන්නේය.

ඊයේ සෙනසුරාදා (මැයි 03) එල්ල කෙරුණේ මාස තුනකටත් අඩු කාල සීමාවක් ඇතුළත බ්‍රිතාන්‍යයේ වාර්තා වූ තුන්වනි ප්‍රහාරයයි.

මාර්තු මස 22 දින ලංඩන් අගනුවර වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව අසළ එල්ල කෙරුණ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියකු ද ඇතුළුව පස් දෙනකු මරා දැමුණි.

ඉන් හරියටම මාස දෙකකට පසු මැයි 22 දා මැන්චෙස්ටර් නගරයේ දී එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජීවිත විසි දෙකක් විනාශ විය.

ලංඩන් ප්‍රහාරයත් සමඟ එක්සත් රාජධානියේ නිදහස් පක්ෂය (UKIP) හැරුනවිට සෙසු සියලු දේශපාලන පක්ෂ මැතිවරණ ප්‍රචාරක කටයුතු දැනට අත්හිටුවා ඇත.

ලංඩන් ප්‍රහාරයේ දී තුවාල ලද පුද්ගලයන් රෝහල් පහක ප්‍රතිකාර ලබමින් සිටින අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් හැරුනවිට ඔවුන්ගෙන් ඇතැමෙක් ප්‍රංශ,ස්පාඤ්ඤ,ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත ජාතිකයන් බව වාර්තා වෙයි.

ප්‍රහාරකයන් තිදෙනාගෙන් එක් තැනැත්තකු මෙල්ල කිරීමට තැත්කළ රාජකාරියෙන් බැහැරව සිටි පොලිස් භටයකු සහ තවත් පොලිස් නිලධාරීන් හතර දෙනකුත් තුවාලකරුවන් අතර වෙති.

ප්‍රහාරකයන් තිදෙනා පොලිස් වෙඩි පහරින් මරාදමා ඇති අතර ඔවුන් පුපුරන ද්‍රව්‍ය ඇතුළත් බවක් පෙන්නුම් කෙරෙන ව්‍යාජ ඇඳුම් කට්ටල ඇඟලා සිටි බවත් පැවසෙයි.