ලන්ඩන් ප්‍රහාරය : වෑන් සහ පිහි ඇනුම් ප්‍රහාර වලින් හයක් මරුට

ලන්ඩන් නුවර හටගත් සිදුවීම්වලදී පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් අවම තරමින් තවත් 48 දෙනෙකු පමණ තුවාල ලැබූ අතර ප්‍රහාරකයන් තුන් දෙනෙකු වෙඩිතබා මරා දැමු බව බ්‍රිතාන්‍ය පොලිසිය පවසයි.

සෙනසුරාදා (මැයි 03) රාත්‍රී 10 ට පමණ සුදු පැහැති වෑන් රියක් 'ලන්ඩන් බ්‍රිජ්' පාලම මතදී පදිකයින් මතට ධාවනය කෙරුණු අතර ඊට ආසන්න 'බොරෝ මාකට්' ප්‍රදේශයේදී පුද්ගලයන් තුන්දෙනෙකු විසින් එහි සිටි පුද්ගලයින්ට තියුණු අවි පහර එල්ල කරනු ලැබුහ.

කෙසේවෙතත්, සන්නද්ධ ආරක්ෂක අංශ නිලධාරීන් එම සැකකරුවන් මරා දැමුයේ විනාඩි අටක් තුළදීය.

මේ අතර බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂය සිය මහා මැතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙල අත්හිටවූ අතර අගමැතිනි තෙරේසා මේ, ආණ්ඩුවේ 'කෝබ්‍රා' නම් වූ හදිසි අවස්ථා කමිටු රැස්වීමට සහබාගිවනු ඇතැයි වාර්තා වේ.

ප්‍රහාරයේදී තුවාල ලත් පුද්ගලයින් අතර බ්‍රිතාන්‍ය ප්‍රවාහන පොලිසියේ නිලධාරියකුද සිටින අතර ඔහු ඊට මුහුණ දුන්නේ සිද්ධිය හටගත් ස්ථානයට ළඟාවීමෙන් අනතුරුව තියුණු අවි පහරට ලක්වීමෙනි. ඔහුගේ තත්ත්වය බරපතල වුවද ජීවිතයට හානියක් නැතැයි වාර්තාවේ.

"සැකකරුවන් ඇඟ ළාගෙන සිටියේ පුපුරන ද්‍රව්‍ය සහිත කබා ලෙස පෙනෙන්නට තිබුනත් ඒවා නොමග යවන සුළු බව හඳුනාගත්තා" යැයි ලන්ඩන් නාගරික පොලිසියේ සහකාර කොමසාරිස් මාර්ක් රොව්ලි පැවසීය.

"මෙය ත්‍රස්ත සිදුවීමක් ලෙස සළකා ක්‍රියාකරන අතර පූර්ණ විමර්ශනයක් පැවැත්වෙනවා " යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

මාස තුනක කාලයක් තුළදී එක්සත් රාජධානිය තුළ සිදුවූ තුන්වෙනි ත්‍රස්ත ප්‍රහාරය මෙය වන අතර මාර්තු මාසයේ වෙස්ට්මින්ස්ටර් හි ප්‍රහාරයෙන් 5 දෙනෙක් මියගියහ. මින් සති දෙකකට නොවැඩි කාලයකදී මැන්චෙස්ටර්හි එල්ලවූ බෝම්බ ප්‍රහාරය විසිදෙදෙනෙකුට ජීවිත අහිමි කළේය.

සිද්ධිය දුටුවන්

'ලන්ඩන් බ්‍රිජ් ' පාලම මත සිටි බීබීසී වාර්තාකරිනියකවන හෝලි ජෝන්ස් ප්‍රකාශ කළේ, "වෑන් රිය මා වටින් කරකැවී ගොස් පස් දෙනෙකු හෝ හයදෙනෙකු හැප්පුවා. මගේ ඉස්සරහා දෙන්නෙක් හප්පුනාට පස්සේ තවත් තුන් දෙනෙක් පසුපසදී හැප්පුනා." යනුවෙනි.

'ලන්ඩන් බ්‍රිජ් ' ප්‍රදේශයේ අවන්හලක් අසළ ටැක්සියක සිටි රොබී පැවසුවේ, "20-30 ක් පමණ පිරිසක් අවන්හල තුළට කඩිනමින් ආපසු යාමට උත්සාහ දරනවා දුටුවා. ඊට තත්පර 5ට පමණ පසුව ලොකු සුදු පාට වෑන් රථයක් පදික වේදිකාව හරහා ආවා."

"එකෙන් දෙන්නෙක් හෝ තුන්දෙනෙක් එලියට පනිනකොට මම හිතුවේ මාර්ග අනතුරු සිද්ධියක් නිසා කවුරුන් හෝ තුවාල ලබා ඇත්දැයි බලන්න ඔවුන් පැන්නා කියලයි. නමුත් මට ඉක්මනින් තේරුම් ගියා ඔවුන් බොහොම ප්‍රචණ්ඩකාරීයි කියා." යැයි ද ඔහු පැවසීය.

සිද්ධිය දුටු තවත් අයෙකුවන ජෙරාඩ්, " 'මෙය අල්ලාහ් වෙනුවෙන්' යැයි කෑගසමින් ඔවුන් දිවගියා.ඔවුන් තරුණියකට 10 - 15 වතාවක් පමණ පිහිපහර එල්ල කළා" යැයි ප්‍රකාශ කළේය.