ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මැන්චෙස්ටර් ප්‍රහාරය: 'ඇමෙරිකාව සමග තොරතුරු බෙදාගන්නේ නෑ'
මැන්චෙස්ටර් ප්‍රහාරය සම්බන්ධ රහසිගත තොරතුරු ඇමෙරිකානු ජනමාධ්‍යවලට අනාවරණය වීමෙන් අනතුරුව, ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණයේ තොරතුරු ඇමෙරිකානු බලධාරීන් සමග බෙදාගැනීම බ්‍රිතාන්‍ය පොලිසිය විසින් අත්හිටවනු ලැබ තිබෙන බව බීබීසී යට අනාවරණය වේ.
සඳුදා (මැයි 22) රාත්‍රියේ මැන්චෙස්ටර් නුවර පැවති සංගීත සංදර්ශනයකට එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බයේ කොටස් සහ ප්‍රහාරකයා සතුව තිබුණු බෑගයේ කොටස් බව සැලකෙන ඡායාරූප නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළවීම පිළිබඳව බ්‍රිතාන්‍ය බලධාරීහු දැඩි කෝපය පළකරති.
පරීක්ෂණවලට බාධා වනු ඇතැයි බියෙන් ප්‍රහාරකයාගේ නම එක්වරම හෙළිදරවු නොකිරීමට මැන්චෙස්ටර් පොලිසිය උත්සාහ කළ නමුත්, ප්‍රහාරයෙන් පැය 24 කට පසුව ඔහු සල්මන් අබෙඩි බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.
නේටෝ සංවිධානයේ නායකයන්ගේ හමුවක් අතරවාරයේ බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ, ඒ පිළිබඳව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ අවධානයට ලක් කරනු ඇතැයි අපේක්ෂිතය.
සංගීත ප්‍රසංගයට එල්ල කෙරුණු ප්‍රහාරයෙන් දරුවන් ඇතුළු 22 දෙදෙනෙකු මරුමුවට පත් වූ අතර, තවත් 64 දෙනෙක් තුවාල ලැබූහ.
ඇමෙරිකාව සමග රහස් තොරතුරු බෙදාගැනීම ඉතා ඉක්මනින්ම යළිත් ආරම්භ කිරීමට මැන්චෙස්ටර් පොලිසිය බලාපොරොත්තුවන නමුත්, තොරතුරු මාධ්‍යවලට හෙළිවීම පිළිබඳව දැඩි කෝපයෙන් පසුවන බව බීබීසී යට දැනගැනීමට ලැබිණ.
එවැන්නක් "යළිත් සිදු නොවිය යුතු" බවට ස්වදේශ කටයුතු ඇමතිනී ඇම්බර් රඩ් වොෂින්ටනයට අනතුරු අඟවා සිටියාය.
බ්‍රිතාන්‍යයේ උපත ලැබූ ලිබියානු සම්භවයක් සහිත 22 හැවිරිදි සල්මන් අබෙඩි විසින් එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අට දෙනෙක් මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවෙති.
සලමන් අබෙඩි ගේ වැඩිමහල් සොහොයුරා, ඉස්මයිල්, ඇතුළු පුරුෂයන් හත්දෙනෙක් ඒ අතර සිටිති.
සැකපිට අත්අඩංගුවට ගැනුණු කාන්තාවක බ්‍රහස්පතින්දා (මැයි 25) නිදහස් කරනු ලැබ තිබේ.
සැකකාර සලමන් අබෙඩි ගේ පියා, රාමදාන්, සහ බාල සොහොයුරා, හෂීම්, ලිබියාවේ සන්නද්ධ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මේ අතර සල්මන් අබෙඩි උසස් අධ්‍යාපනය හැදෑරු සමයේ ඔහු සමග අධ්‍යාපනය හැදෑරු දෙදෙනෙක් ඔහුගේ අන්තවාදී අදහස් පිළිබඳව මීට ඉහතදී පොලිසියට දැනුම් දී ඇති බවත් අනාවරණය වී තිබේ.