ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලන්ඩන් නගරයේ ආරක්ෂාවට යුද හමුදාව
මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරය පිටුපස ක්‍රියාත්මක වූ "ප්‍රහාරක ජාලයක්" සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව බ්‍රිතාන්‍ය පොලිසිය පවසයි.
සඳුදා බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව රටපුරා විශේෂ ආරක්ෂක රැකවරණ ක්‍රියාත්මක කෙරෙමින් ඇති බව සංකේතවත් කරමින් මේවනවිට ලන්ඩන් නගර කේන්ද්‍රයේ යුද හමුදා භටයන් ස්ථානගත කරනු ලැබ ඇත.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සහ අගමැති නිල නිවස ඇතුළු ප්‍රධාන ස්ථානයන්හි ද යුද හමුදාව නිරත කර තිබෙනු දක්නට ලැබෙයි.
වෙනදා පොලිසිය ක්‍රියාත්මක වෙන ස්ථානයන්හි මෙලෙස යුද හමුදාව නිරත කරවීම බ්‍රිතාන්‍ය සමාජයේ සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන දර්ශනයකි.
සඳුදා (මැයි 22) රාත්‍රියේ මැන්චෙස්ටර් ගෘහස්ත රඟහලේ පොප් සංගීත ප්‍රසංගයකට සහභාගී වෙමින් සිටි ගීතලෝලීන් ඉලක්ක කර ගනිමින් එල්ල කෙරුණ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ දී විසි දෙදෙනකු මරණය පත් වූ අතර තවත් පනස් නව දෙනකු තුවාල ලැබ රෝහල්ගත කරනු ලැබුණි.
ඔවුන් අතරින් බරපතළ තුවාල ලද විසි දෙනකු පමණ තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.
සඳුදා රාත්‍රියේ ප්‍රහාරය එල්ල කරන ලද තැනැත්තා සල්මන් අබේඩි(Salman Abedi) නමැත්තකු යයි හඳුනාගනු ලැබ ඇති අතර, ප්‍රහාරකයා ඔහු වුවද පාවිච්චියට ගෙන ඇති බෝම්බය නිෂ්පාදනය කරන ලද්දේ වෙනත් පුද්ගලයකු විසින්ය යන්න බ්‍රිතාන්‍ය පොලිසියේ විශ්වාසයයි.
බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම් ඇම්බර් රුඩ්(Amber Ruud ) ප්‍රකාශයක් කරමින් මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරය එය එල්ල කරන ලද පුද්ගලයා විසින් තනිව සිදු කරන ලද ක්‍රියාවක් නොවන බව පෙනීයන බව සඳහන් කළාය.
" ප්‍රහාරකයා මෙය තනිව සැලසුම් කළාද කියන කාරණය තහවුරු කර ගන්න පොලිසිය පරීක්ෂණ ආරම්භ කරලා තියෙනව. සිදු වුනේ මහා විනාශයක්. කලින් ප්‍රහාර එක්ක බැලුවම මේක ඉතාම සුක්‍ෂම ලෙස එල්ල කරපු ප්‍රහාරයක් බව පෙනී යනවා . මේක ප්‍රහාරකයා තනිව එල්ල කරපු ප්‍රහාරයක් නොවෙන්න පුළුවන්. පොලිසිය සහ සෙසු ආරක්ෂක අංශ ඒ ගැන විපරම් කරනවා" ස්වදේශ කටයුතුභාර ලේකම්වරිය පවසන්නීය.
එම විශ්වාසය යටතේ ප්‍රහාරකයන් විසින් පවත්වා ගෙන යනු ලබන "බෝම්බ කර්මාන්ත ශාලාවක්" සොයා ගැනීම ඉලක්ක කර ගනිමින් පොලිස් සෝදිසි කිරීම් මේ වනවිට ආරම්භ කරනු ලැබ ඇත.
එම මෙහෙයුමේ දී අද බදාදා (මැයි 24) මැන්චෙස්ටර් නගරයේ සිදුකළ සෝදිසි කිරීම්වල දී තිදෙනකු අත්අඩංගුවට ගන්නා ලද බව පොලිසිය පවසයි.
මැන්චෙස්ටර් ප්‍රහාරය සම්බන්ධයෙන් අඟහරුවාදා (මැයි 23) පුද්ගලයකු අත්අඩංගුවට ගත් අතර ඔහුත් සමඟ මේවනවිට අත්අඩංගුවට ගනු ලැබ සිටින සංඛ්‍යාව හතර දෙනෙක් වෙති.
අඟහරුවාදා අත්අඩංගුවට ගන්නා ලද විසිතුන් හැවිරිදි පළමු සැකකරු බෝම්බ ප්‍රහාරය එල්ල කළ සල්මන් අබේඩි ගේ සහෝදරයෙකි.
අබේඩි සහෝදරයෝ ලිබියානු සම්භවයක් සහිත පවුලක සාමාජිකයෝ වෙති.
එක්සත් රාජධානිය මෙවැනි ප්‍රහාර වලට ගොදුරු වීමේ විශාල ඉඩකඩක් උද්ගතව ඇතිබව බලධාරීහු පවසති.
එම තත්වය යටතේ රටපුරා ප්‍රධාන ආයතන අවට දැඩි ආරක්ෂක රැකවරණ යොදා ඇති ආකාරයක් දක්නට ලැබෙයි.
ලන්ඩන් අගනුවර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පිහිටි "වෙස්ට්මිනිස්ටර් මාලිගය" පොලිස් උපදෙස් අනුව මහජනයාට විවෘත නොකරන බව නිවේදනය කර ඇත.
බ්‍රිතාන්‍ය පාලනයේ ප්‍රමුඛ සහ වැදගත් ස්ථානවල ආරක්ෂාවට පොලිසියට අතිරේකව යුද හමුදා භටයන් ද නිරත කර සිටිති.
සඳුදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය අතර රාජකාරියෙන් බැහැරව සිටි පොලිස් භටයකුත් වූ බව මැන්චෙස්ටර් පොලිසිය පවසයි.
සඳුදා බෝම්බ ප්‍රහාරය "ප්‍රහාරක ජාලයක" ක්‍රියාවක් බව ඉතා පැහැදිළි දෙයකැයි මැන්චෙස්ටර් පොලිස් ප්‍රධානී ඉයන් හොප්කින් පවසයි.