එක්සත් රාජධානියේ ත්‍රස්ත අවදානම ඉහළට

එක්සත් රාජධානියට පවතින ත්‍රස්ත තර්ජන මට්ටම "ඉතාම අවදානම්" තත්වයට ඉහළ දමා ඇති බව අගමැතිනි තෙරේසා මේ පවසන්නීය.

තවත් ප්‍රහාර ළඟදීම එල්ලවිය හැකි තත්වයක් පවතින බව ඉන් ඇඟවෙන හෙයින් රටේ ප්‍රධාන ස්ථාන ආරක්ෂා කිරීම සඳහා බ්‍රිතාන්‍ය හමුදා භටයන් යෙදවීමට තීරණය කර තිබේ.

මෙම 'ඉතා අවදානම්' තත්වය තාවකාලික වනු ඇති බවට තමා විශ්වාස කරන බව බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු භාර ලේකම්වරිය වන ඇම්බර් රඩ් ප්‍රකාශ කළාය.

ඇය ස්කයි පුවත් සේවයට තවදුරටත් කියා සිටියේ බුද්ධි සේවා නිලධාරීන් විසින් මැන්චෙස්ටර් ප්‍රහාරකයා හඳුනා ගනු ලැබ ඇති බවය.

අගමැතිනි තෙරේසා මේ කියා සිටියේ රටේ අවදානම් තත්වය ඉහළ මට්ටමකට ගෙන ඒමට සිදුවී ඇත්තේ මැන්චෙස්ටර් ප්‍රහාරකයා තනිව ක්‍රියාකළ අයෙක් ද නැතහොත් කණ්ඩායමක සාමාජිකයෙක් ද යන්න නිශ්චිතව හඳුනාගැනීමට බලධාරීන් අපොහොසත්වීම හේතුවෙන් බවය.

බකිංහැම් මාලිගය, අගමැති නිල නිවස, තානාපති කාර්යාල සහ වෙස්මිනිස්ටර් මාලිගය වැනි ප්‍රධාන ස්ථානවල ආරක්ෂාව සඳහා යොදවා ඇති සන්නද්ධ පොලිසියට සහාය ලබා දීමට බ්‍රිතාන්‍ය හමුදා සොල්දාදුවන් යොදවන බව ද අගමැතිනිය ප්‍රකාශ කළාය.

මින් ඉදිරියට පැවැත්වෙන උත්සව සහ ප්‍රසංගවල ආරක්ෂාව සඳහා ද පොලිස් නිලධාරීන්ගේ අණසක යටතේ කටයුතු කිරීමට හමුදා භටයන් යොදවනු ඇති බවත් ඇය පැවසුවාය.