HIV ආසාදිතයෝ 'සාමාන්‍ය ආයු අපේක්‍ෂාවට ළඟාවෙති'

ප්‍රජා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ලද ඉහළම ජයග්‍රහණවලින් එකක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රජා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ලද ඉහළම ජයග්‍රහණවලින් එකක්

නව ඖෂධ භාවිත කරමින් ප්‍රතිකාර ලබාගන්නා HIV ආසාදිත තරුණයන්ගේ ආයු අපේක්‍ෂාව සාමාන්‍ය මිනිස් ආයු අපේක්‍ෂාවට ළඟාවී ඇති බව නව අධ්‍යයනයකින් සනාථවී තිබේ.

මෙම අධ්‍යයනය සිදුකළ බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ වෛද්‍යවරුන් පවසන්නේ HIV ආසාදිතයන් වෙනුවෙන් පවතින නවීනතම ප්‍රතිකාර විධික්‍රමය වන ඇන්ටිරෙට්‍රෝවෛරල් (antiretroviral) නමින් හැඳින්වෙන සත්කාරය මීට හේතුවී ඇති බවය.

මෙය ඖෂධ වර්ග තුනක හෝ ඊට වැඩි ප්‍රමාණයක සංකලනයක් සහිත ප්‍රතිකාර ක්‍රමයකි.

Antiretroviral සත්කාරය, වසර 40ක් ඇතුළත ප්‍රජා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ලද ඉහළම ජයග්‍රහණවලින් එකක් බව පර්යේෂණ වාර්තාව සඳහන් කරයි.

ඖෂධ වර්ග තුනක හෝ ඊට වැඩි ප්‍රමාණයක සංකලනයක්

ඡායාරූප මූලාශ්‍රය, Science Photo Library

ඡායාරූප ශීර්ෂ වැකිය, ඖෂධ වර්ග තුනක හෝ ඊට වැඩි ප්‍රමාණයක සංකලනයක්

නොදන්නා පිරිස

HIV වෛරසය ශරීරගත වූවන්ට නිරෝගී දිගු දිවියක් ලබාදීම සඳහා එම ප්‍රතිකාර මුල් අවධියේදී ම ආරම්භ කිරීම අත්‍යවශ්‍යවන බව වෛද්‍යවරු පවසති.

නමුත් තමන්ට HIV වැළඳී ඇත්දැයි නොදන්නා බොහෝ පිරිසක් තවමත් ලොව වටා සිටින බව HIV රෝගීන් සඳහා පවතින පුණ්‍යායතන සඳහන් කරයි.

ක්‍රියාධරයන් පවසන්නේ විශේෂයෙන්ම ඌන සංවර්ධිත රටවල මෙම තත්වය දක්නට ලැබෙන බවය.

එම රටවල නව ඖෂධ වර්ග නොමැති වීම හේතුවෙන් HIV ආසාදිතයන් මරණයට පත්වීමද ඉහළ මට්ටමක පවතී.

මේවනවිට නිපදවා ඇති නව ඖෂධ වර්ගවලින් සිරුරට ඇතිවන වෙනත් හානිකර තත්වයන් අඩුවීමත්, ශරීරය තුළ දී HIV වෛරසය ප්‍රතිගුණනය වීම වඩා හොඳින් වළක්වාගැනීමට හැකිවීමත් මෙම සාර්ථකත්වයට ප්‍රධාන හේතුව බව පර්යේෂකයෝ පවසති.

කෙසේ නමුත් මත්ද්‍රව්‍ය එන්නත් කිරීම හරහා HIV ආසාදනය වූ උදවියට තවමත් වැඩි ආයු කාලයක් අපේක්ෂා කළ නොහැකි තත්වයක් පවතී.