ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බ්‍රිතාන්‍යයත් ඉලෙක්ට්‍රොනික උපකරණ තහනමක
මැදපෙරදිග කලාපයේ රටවල් හයක සිට පැමිණෙන ගුවන් යානාවලට බලපැවැත්වෙන නව ආරක්ෂක ක්‍රියාමාර්ගයක් හඳුන්වා දීමට බ්‍රිතාන්‍ය කටයුතු කරමින් සිටී.
ඒ අනුව ලැප්ටොප් හා ටැබ්ලට් පරිගණක සහ ප්‍රමාණයෙන් විශාල ඇතැම් ස්මාර්ට් ජංගම දුරකතන, මගීන් අත ගෙන යන ගමන් මලු තුළ රැගෙන යෑම තහනම් කෙරෙනු ඇත.
බ්‍රිතාන්‍ය බලධාරීන් එම පියවර නිවේදනය කළේ එම කලාපයේ රටවල් අටක සිට ඇමෙරිකාව දක්වා කෙරෙන සෘජු ගුවන් ගමන්වලදී මගීන් අත ගෙන යන ගමන් මලු තුළ එවැනි ඉලෙක්ට්‍රොනික උපකරණ රැගෙන යෑම ඇමෙරිකානු බලධාරීන් විසින් අඟහරුවාදා උදය වරුවේ තහනම් කිරීමෙන් අනතුරුවයි.
අදාළ තහනම අත්‍යවශ්‍ය බව පැවසූ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් මහජන ආරක්ෂාව තහවුරු කිරීම එහි අරමුණ බව සඳහන් කළේය.
බුද්ධි අංශ වාර්තා
ත්‍රස්තවාදී කණ්ඩායම් ගුවන් යානා ඉලක්ක කරමින් සිටින බවට සහ පාරිභෝගික භාණ්ඩ තුළ සඟවා පුපුරන ද්‍රව්‍ය රැගෙන යෑමට උත්සාහ කරමින් සිටින බවට ලැබුණු බුද්ධි අංශ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් එකී ක්‍රියාමාර්ගය ගත් බව ඇමරිකානු බලධාරීහු පවසති.
ගුවන් යානා මගී කුටි තුළ ජංගම දුරකතනයකට වඩා ප්‍රමාණයෙන් විශාල ඉලෙක්ට්‍රොනික උපකරණ රැගෙන යෑම තහනම් කිරීමට මැදපෙරදිග කලාපයේ රටවල් අටක සිට පැමිණෙන ගුවන් සේවා නවයකට පැය 96 ක කාල සීමාවක් ලබා දී තිබේ.