ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජනාධිපති ට්‍රම්ප්ගේ සංක්‍රමණ තහනමට යළිත් වැට
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ සංක්‍රමණ තහනම ක්‍රියාත්මකවීමට ආසන්නව තිබියදී එය වළකාලමින් හවායි හි ෆෙඩරල් අධිකරණ විනිසුරුවරයකු විසින් තීන්දුවක් දෙනු ලැබීය.
මෙය ජාතික ආරක්ෂාවට අදාළ කරුණක් යැයි රජය නගන තර්කය වෙනුවෙන් ඉදිරිපත් වී තිබෙන්නේ 'ගැටලු සහගත සාක්ෂි' බව විනිසුරු ඩෙරික් වොට්සන් පෙන්වාදුණි.
'පෙර නොවූ විරූ උපායශීලී අධිකරණ ක්‍රියාදාමයක්' ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මෙය හැඳින්වීය.
මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් හයකට දින 90තක් මෙන්ම සරණාගතයන් සඳහා දින 120ක් බලපැවැත්වෙන පරිදි ජනාධිපති ට්‍රම්ප් සිය නියෝගය නිකුත්කොට තිබිණ.
ත්‍රස්තවාදීන් සිය රටට ඇතුළුවීම වැළකීම මෙම පියවරේ අරමුණ බව ඔහු අවධාරණය කළද, විචාරකයින් පෙන්වාදෙන්නේ එය වෙනස්කොට සැළකීමක් ලෙසය.
ජනවාරි මාසය අගදී නිකුත් කිරීමට සුදානම් වූ නියෝගය ද අර්බුද රැසකට මුහුණ දෙමින් විරෝධයකට ලක්වී අතර සියැටල්හි විනිසුරුවරයකු විසින් එය වළකාලනු ලැබිණි.
විනිසුරුගේ අදහස
සිය තීන්දුව දෙමින් විනිසුරු වොට්සන් පෙන්වාදුන්නේ, තහනම ක්‍රියාත්මක වීමට ඉඩ තැබුවහොත්, ආගමික වෙනස්කම්වලින් ආරක්ෂාකිරීම සඳහා කෙරුණු පළමු සංශෝධනයට 'පිරිමැසිය නොහැකි හානියක්' සිදුවන බවය.
සංචාරක ව්‍යාපාරයට මෙන්ම, විදේශ ශිෂ්‍යයින් හා සේවකයින් බඳවාගැනීමට මෙම තහනම හානි පමුණුවනු ඇති බවට හවායි ප්‍රාන්තයේ තර්කය වී ඇත.
අදාළ විධායක නියෝගයේ ස්වභාවය සැළකීමේදී එය 'කිසියම් ආගමකට අවාසියක් කිරීමේ අරමුණකින් නිකුත් කර ඇති බවක්' පෙනෙන්නට ඇති බව පිටු 43කින් සමන්විත තීන්දුවෙන් පෙන්වා දී තිබේ
ට්‍රම්ප්ගේ අදහස
බදාදා (මාර්තු 15) සවස ටෙනසි ප්‍රාන්තයේ නෑශ්විල් හි රැළියක් අමතමින් ට්‍රම්ප් පැවසුවේ හවායි තීන්දුව 'වැරැද්දක්' සේම 'පෙර නොවූ විරූ උපායශීලී අධිකරණ ක්‍රියාදාමයක්' බවය.
රටේ ජාතික අවශ්‍යතාවක් යැයි හැඟෙන අවස්ථාවක සංක්‍රමණිකයින්ගේ පැමිණීම අත්හිටුවීමේ බලය ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට පවරා ඇති අතර, මුල් නියෝගය හෝ එහි සංශෝධනය ආගමක් පදනම් කරගනිමින් වෙනස්කොට සැළකීමක් නොවන බවට ට්‍රම්ප් පාලනය තර්ක කරයි.
මෙම සංශෝධිත නියෝගය, රටවල් හයකින් පැමිණෙන්නන් දැඩි පරීක්ෂාවකට ලක්කිරීම සඳහා ජනාධිපති ඔබාමා ගන්නා ලද පියවරේ දිගුවක් බවට නීති දෙපාර්තමේන්තුවේ නීතිඥයින්ගේ තර්කය වී ඇත.
තහනම බලපාන්නේ කා හට ද?
ජනවාරි 27 වෙනිදා නියෝගයෙන් දක්වා තිබු - ඉරානය, ලිබියාව, සිරියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවල සංක්‍රමණිකයින්ට මෙම සංශෝධිත නියෝගයෙන් ද දින 90ක තහනමක් පැනවේ.
වීසා පරික්ෂාව හා තොරතුරු හුවමාරුව ඉහළ නැංවීම හේතුවෙන් ඉරාකය එම ලැයිස්තුවෙන් ඉවත්කර ඇති බව ධවල මන්දිර නිලධාරීන් පැවසුහ.
සියලුම සිරියානු සරණාගතයින් ට තිබූ කාලසීමාවක් නොමැති තහනම ද සංශෝධිත නියෝගයෙන් ඉවත් කර ඇති අතර අදාළ රටවල 'ග්‍රීන් කාඩ්' (අමෙරිකාවේ නෛතික ස්ථිර නේවාසිකයින්) හිමියන්ට ද මෙය බලනොපානු ඇති බව දක්වා ඇත.