ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ට්‍රම්ප් නීතිපති මාරු කරයි
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව වැඩබලන නීතිපතිවරයා ලෙස නැගෙනහිර වර්ජීනියා දිස්ත්‍රික්කයේ නීතිපති ධුරය හෙබවූ ඩානා බොයෙන්තේ පත් කර තිබේ.
ජනාධිපතිවරයා මෙම පියවර ගනු ලැබුවේ ඔහු විසින් පසුගිය සිකුරාදා (ජන. 27) අත්සන් කරනු ලැබූ විධායක නියෝගය නීතියට පටහැනි බව පැවසූ හිටපු වැඩබලන නීතිපතිවරිය, එම නියෝගය වෙනුවෙන් පෙනී නොසිටින ලෙස රජයේ නීතීඥයන්ට උපදෙස් දීමෙන් අනතුරුවයි.
එම විධායක නියෝගයට අනුව ඇමරිකා සරණාගත සේවා ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නවතා දැමුණු අතර දින අනූවක කාලයක් සඳහා ඉරානය, ඉරාකය, ලිබියාව, සෝමාලියාව, සුඩානය, සිරියාව සහ යේමනය යන රටවල වැසියන්ට ඇමරිකාවට ඇතුළු වීම සපුරා තහනම් කෙරිණි.
තමන් විසින් අත්සන් කරනු ලැබූ විධායක නියෝගය ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකිරීම මත ජනාධිපති ට්‍රම්ප් සැලි යේට්ස් වැඩබලන නීතිපතිවරිය සේවයෙන් පහ කළේය.
සැලි යේට්ස් හිටපු වැඩබලන නීතිපතිවරිය විධායක නියෝගය සම්බන්ධයෙන් සිය මතය දක්වමින් ධවල මන්දිරයට ලිපියක් යවා ඇති අතර එහි පැවසෙන්නේ ජනාධිපතිවරයාගේ නියෝගය නීතියට පටහැනි බවයි.
ධවල මන්දිරය නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වුනේ සැලි යේට්ස් ඇමරිකාවේ හිටපු නීතිපතිවරිය අධිකරණ දෙපාර්තමේන්තුවට 'ද්‍රෝහී' වී ඇති බවය.
සංක්‍රමණිකයන් රටට ඇතුළුවීම සම්පුර්ණයෙන් වළකාලමින් පනවනු ලැබූ මෙම විධායක නියෝගයට විරෝධය පාමින් ඇමරිකාව පුරා ගුවන්තොටුපොළ සහ වීදි බොහෝමයක උද්ඝෝෂණ ක්‍රියාත්මක වූ අතර තහනම තාවකාලිකව අත්හිටුවීමට නිව්යෝර්ක් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කෙරිණි.