චීනයට 'අනුල්ලංඝනීය ස්වාධිපත්‍යයක්'

දකුණු චීන මුහුදේ කොටසක් සම්බන්ධයෙන් තමන්ට 'අනුල්ලංඝනීය ස්වාධිපත්‍යයක්' තිබෙන බව චීනය යළිත් වරක් අවධාරණය කළේය.

චීනය එම ප්‍රකාශය කළේ, චීනය එම කලාපයේ කොටසක් අත්පත් කරගැනීම වළක්වන බවට ට්‍රම්ප් පරිපාලනය සපථ කිරීමෙන් අනතුරුවයි.

එම කලාපයේ "අපේ අවශ්‍යතා රැකගැනීම සහතික කරන" බව ධවල මන්දිරයේ ප්‍රකාශක ෂෝන් ස්පයිසර් සඳුදා මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය.

කෙසේ නමුත් එයට ප්‍රතිචාර දක්වන චීන විදේශ අමාත්‍යාංශය පවසන්නේ "එහි අපේ අයිතීන් රැකගැනීම පිණිස කැපවී සිටින" බවයි.

බෙයිජිං නුවර පැවති මාධ්‍ය හමුවක් ඇමතූ චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා හුවා චුන්යින්, "නන්ෂා දූපත් සහ ඒ අවට මුහුදු තීරය සම්බන්ධයෙන් චීනයට අනුල්ලංඝනීය ස්වාධිපත්‍යයක් තිබෙනවා," යනුවෙන් සඳහන් කළාය.

"අපේ භෞමික අඛණ්ඩතාවය, නාවික අයිතීන් සහ දකුණු චීන මුහුදේ අපේ අවශ්‍යතාවයන් අපි දැඩිව ආරක්ෂා කරනවා වගේම එහි අයිතිය සම්බන්ධ ගැටළු එයට සෘජුව සම්බන්ධ රටවල් සමග සාකච්ඡා මාර්ගයෙන් සාමකාමීව විසඳාගත යුතු බව චීනය අවධාරණය කරනවා."

ඇමෙරිකාවේ ඔබාමා පරිපාලනය දකුණු චීන මුහුදේ අයිතිය සම්බන්ධයෙන් පවතින මතභේදය පිළිබඳව ස්ථාවරයක් ගැනීමෙන් වැලකී සිටියේය.

සම්පත්වලින් පොහොසත් සහ ඉතා වැදගත් නාවික මාර්ගයක් පිහිටි දකුණු චීන මුහුද සම්බන්ධයෙන් කලාපයේ රටවල් ගණනාවක් අයිතිවාසිකම් පවසති.