දකුණු චීන මුහුදේ චීන -රුසියානු යුද සරඹ

චීනය සහ රුසියාව ඒකාබද්ධ නාවික යුද සරඹ ආරම්භ කරනු ලැබ ඇත.

දින අටක් පුරා එම යුද සරඹ පැවැත්වෙන්නේ දූපත් කීපයක අයිතිය සම්බන්ධයෙන් ව්‍යාකූල තත්වයක් පවතින දකුණු චීන මුහුදේ.

බේජිං බලධාරීන් විසින් මෙම යුද අභ්‍යාස හඳුන්වා දෙනු ලැබ තිබෙන්නේ චාරිත්‍රානුකූල මට්ටමින් පැවැත්වෙන වැඩ සටහනක් හැටියටයි.

අයිතිය සම්බන්ධයෙන් අසල්වැසි රටවල් සමඟ ගැටුම්කාරී තත්වයක් පවතින දකුණු චීන මුහුදේ චීන -රුසියානු යුද සරඹ පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

දකුණු චීන මුහුදේ දූපත් සඳහා චීනය ඉදිරිපත් කරන අයිතියට එරෙහි තීන්දුවක් ජාත්‍යන්තර අධිකරණයක් විසින් පසුගිය ජූලි මාසයේ ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

එක්සත් ජනපද ශාන්තිකර නාවික බලකායේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්කොට් ස්විෆ්ට් (AdmiralScott Swift )පසුගිය අගෝස්තු මාසයේ චීනයේ දී ප්‍රකාශයක් කරමින්, මතභේද සහිත තත්වයක් පවතින දකුණු චීන මුහුදේ වෙඩි හුවමාරු කිරීම් ඇතුළත් යුද සරඹ පවත්වනු ලැබීම කලාපයේ ස්ථාවර භාවයට හිතකර නොවන බවයි පෙන්වා දුන්නේ.