දකුණු කොරියානු ජනපතිනියට එරෙහිව දසලක්ෂයක් ජනතාව විදියේ

රෝධතාවට දස ලක්ෂයකටත් අධික පිරිසක් එක්වනු ඇතැයි සංවිධායකයෝ පවසති

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, රෝධතාවට දස ලක්ෂයකටත් අධික පිරිසක් එක්වනු ඇතැයි සංවිධායකයෝ පවසති

දකුණු කොරියානු ජනාධිපතිනී පාක් ගුන් හෙයි, සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බව පවසමින් එරට ජනතාව තෙවන වරටත් වීදි බැස විරෝධතාවක නිරත වෙමින් සිටිති.

ජනාධිපතිනියට ධුරයෙන් ඉල්ලා අස් වන ලෙස බල කරමින් මෙතෙක් පැවති විශාලම විරෝධතාව ලෙස මෙවර වීදි බැසීම හැඳින්විය හැකි බව සංවිධායකයෝ පවසති.

ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ, මෙවර විරෝධතාවට දස ලක්ෂයකටත් අධික පිරිසක් එක්වනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බවය.

රෝධතාවට දස ලක්ෂයකටත් අධික පිරිසක් එක්වනු ඇතැයි සංවිධායකයෝ පවසති

ඡායාරූප මූලාශ්‍රය, Reuters

මුළු රටටම බලපෑම් ඇතිකළ හැකි තීරණ ගැනීමේදී, ජනාධිපතිනිය සිය මිතුරියකට අනවශ්‍ය ලෙස තමන්ට අනුබල දීමට ඉඩකඩ සැලසීමට විරෝධය පළ කිරීමක් ලෙස ඇයට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරන බව උද්ඝෝෂකයෝ පවසති.

සිය හිතවතියක වන චෝයි සූන්ස්ලී ට ජාතිය ඇමතීමට තමන් විසින් සකස් කරනු ලැබූ කතාවල පිටපත් කියවීමට දුන් බව ජනාධිපතිනිය පිළිගෙන තිබේ.

චෝයි සූන්ස්ලී පොලිස් භාරයේ රැඳවීමට එරට අධිකරණය තීරණය කොට ඇති අතර ඇය රටින් පැන යාමේ ඉඩකඩ ඇහිරීමට මෙම තීරණය ගෙන ඇති බව දකුණු කොරියානු බලධාරීහු ප්‍රකාශ කළහ.

ජනාධිපතිනී පාක් ගුන් හෙයි

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපතිනී පාක් ගුන් හෙයි

ඇය විසින් ජනාධිපතිනියට බලපෑම් සිදු කරන බවට වාර්තා පළ වීමෙන් පසු තමන් සහ ජනාධිපතිනිය අතර පවතින සම්බන්ධය ඔප්පු කළ හැකි සාක්ෂි සියල්ල විනාශ කිරීමට චෝයි සූන්ස්ලී උත්සාහ කොට ඇති බව තොරතුරු හෙළි වී තිබේ.

දකුණු කොරියානු බැංකු වලින් ණය සහ දීමනා ලබා ගැනීමට රටේ ජනාධිපතිවරිය සමග පැවති මිතුදම අයුතු ලෙස භාවිතා කරනු ලැබ ඇති බවටත් චෝයි සූන්ස්ලී ට චෝදනා එල්ල වී ඇත.