ඇමරිකාවේ අනාගත ජනපති ගැන ලෝක බලවතුන්ගේ ප්‍රතිචාර

යුරෝපා නායකයන්ගෙන් ට්‍රම්ප්ට සුභ පැතුම්

ඩොනල්ඩ් ට්‍රම්ප් ලද ජයග්‍රහණය සම්බන්ධයෙන් ලෝක බලවතුන් සහ ජාත්‍යන්තර සංවිධාන දැක්වූ ප්‍රතිචාර වෙතයි මේ අවධානය.

යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨතම බලධාරීන්වන ඩොනල්ඩ් ටස්ක් හා යොන් ක්ලෝඩ් යුන්කර් ඇමරිකානු ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබූ ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත යුරෝපා සමුළුවට හැකි ඉක්මණින් සහභාගීවන ලෙස ආරාධනා කළහ.

ඔවුන් වැඩි දුරටත් කියා සිටියේ ලෝක ත්‍රස්තවාදය, කාලගුණික විපර්යාසය සහ යුක්‍රේනයේ ස්වාධිපත්‍යයට එල්ල වී ඇති තර්ජනවලට මුහුණ දීමට අත්ලාන්තික සාගරය හරහා ඇමරිකාව සහ යුරෝපය අතර සම්බන්ධතා ශක්තිමත් කරගැනීම පෙරට වඩා වැඩි වැදගත්කමක් දරන බවය.

ජර්මනියෙන් සුභ පැතුම්

මනුෂ්‍ය වර්ගයාගේ ගෞරවය, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම මූලික කරගත් ජාතික ප්‍රතිපත්තියක් පවතින රටවල් දෙකක් වශයෙන් ඇමරිකාව සහ ජර්මනිය අතර ඉතා කිට්ටු සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට තමන් සුදානම් බව ජර්මානු චාන්සලර් අන්ගෙලා මර්කල් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට සුබ පතමින් කියා සිටියාය.

ජර්මානු චාන්සලර්වරිය අන්ගෙලා මර්කල්

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ජර්මානු චාන්සලර්වරිය අන්ගෙලා මර්කල්

"ඉතා බලවත් ආර්ථිකයක් පවතින, ශක්තිමත් හමුදා බලයක් හිමි, ලොවටම සංස්කෘතික බලපෑමක් කළ හැකි ඇමරිකාව වැනි ශ්‍රේෂ්ඨ රටක පාලන බලය හිමිවන පුද්ගලයා කවුරු වුනත් ඔහු මත විශාල වගකීමක් පැවරෙනවා.

ඇමරිකානුවන් තීරණය කරලා තියෙනවා ඉදිරි වසර හතරක කාලය වෙනුවෙන් ඒ වගකීම ඩොනල්ඩ් ට්‍රම්ප් ට භාර දෙන්න.

ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, මානව හිමිකම් වලට දක්වන ගෞරවය යන සියලුම වටිනාකම් ජාතිභේදයක්, වර්ණ භේදයක්, ආගම් හෝ ලිංගිකත්වය මත පදනම් නොවී සැමට ලබා දීමේ ප්‍රතිපත්තියේ ජර්මනිය සහ ඇමරිකාව සිටින බව විශ්වාස කරමින් ජර්මනියේ සහය අනාගත ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් මම ලබා දෙනවා."

ප්‍රංශයේ ප්‍රතිචාරය

කෙසේ වෙතත් ප්‍රංශ ජනාධිපති ෆ්‍රාන්සුවා හොලන්දේගෙන් අනාගත ඇමරිකානු ජනපතිට එතරම් උණුසුම් සුබ පැතුමක් හිමි නොවීය.

ප්‍රංශ ජනාධිපති ෆ්‍රාන්සුවා හොලන්දේ ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා මුණගැසුණු අවස්ථාවක්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රංශ ජනාධිපති ෆ්‍රාන්සුවා හොලන්දේ ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා මුණගැසුණු අවස්ථාවක්

"ප්‍රජාතන්ත්‍රවාදී රටක නායකයෙකු තවත් ප්‍රජාතන්ත්‍රවාදී රටකට පත් වූ නායකයෙකුට සුබ පැතීමයි සිරිත, ඒ අනුව මම ඔහුට සුබ පතනවා.

ඒ අතරම මම කැමතියි ඔබාමා පාලන සමයේ මා සමග ඉතා කිට්ටුවෙන් කටයුතු කළ හිලරි ක්ලින්ටන්ට මගේ සංවේගය ප්‍රකාශ කරන්න.

මේ ඇමරිකානු ජනාධිපතිවරණය තුළින් ඇති වී තිබෙන අස්ථාවර කාල වකවානුවේ ඉතා සිහිබුද්ධියෙන් සහ පැහැදිළිකමින් යුතුව වැඩකටයුතු කරන්න මම බලාපොරොත්තු වෙනවා.

ඇමරිකාව සහ ප්‍රංශය අතර ප්‍රමුඛ පෙළේ සම්බන්ධතාවක් තමයි තියෙන්නේ. ඉතින් ලෝකයේ සාමය, පැවැත්ම, ලෝක ත්‍රස්තවාදය සම්බන්ධයෙන් කටයුතු කළ යුතුව තියෙනවා."

නව රාජ්‍ය සම්බන්ධතාවකට රුසියාව සූදානම්

මොස්කව් අගනුවරදී විදෙස් තානාපතිවරුන් ඇමතූ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූතින් ට්‍රම්ප් ගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය සුබ පැතුම් එක්කරමින් කියා සිටියේ මොස්කව් සහ වොෂින්ටන් පාලනය අතර පෙරට වඩා හොඳ සම්බන්ධතාවක් පැවත්වීමට තමන් සුදානම් බවයි.

නව රාජ්‍ය සම්බන්ධතාවකට රුසියාව සූදානම්

"රුසියාව ලෑස්තියි ඒ වගේම රුසියාවට අවශ්‍යයි ඇමරිකාව සමග සම්පූර්ණයෙන්ම නව සම්බන්ධතාවක් ආරම්භ කරන්න. මම නැවතත් කියනවා මේ කටයුත්ත ඉතා අපහසු බව අපි තේරුම් ගෙනයි ඉන්නේ නමුත් අපි ලෑස්තියි ඒ වෙනුවෙන් රුසියාවෙන් ඉටු විය යුතු සියල්ල කරන්න, නැවතත් ඇමරිකාව සහ රුසියාව ස්ථාවර ස්ථිරසාර සංවර්ධන මාර්ගයකට ඇතුළු වෙන්න. ඒ තුලින් ගෝලීය උණුසුම පාලනය, ලෝක ආරක්ෂාව සහ ස්ථාවරත්වය ළඟා කරගන්න." යැයි පැවසීය.

'නේටෝ පැවැත්ම යුරෝපයට මෙන්ම ඇමරිකාවටත් වැදගත්'

නේටෝ සංවිධානයේ මහ ලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින්, ඔහු ඉක්මණින් සිය ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේය.

මේ අතර ලෝකයේ ආරක්ෂක පිරිවැයට සිය කොටස ලබා නොදෙන රටවල් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඇමරිකාව පෙනී නොසිටින බවට ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද නේටෝ මහලේකම්වරයා අදහස් දැක්වීය.

නේටෝ සංවිධානයේ මහ ලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග්
ඡායාරූප ශීර්ෂ වැකිය, නේටෝ සංවිධානයේ මහ ලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග්

"ආරක්ෂාව ලබා දෙන බවට නේටෝ සංවිධානය ලෝකයට ලබා දී ඇති පොරොන්දුව ගිවිසුමක් වගේම කැප කිරීමක්. ලෝකයේම මිත්‍ර රටවල් කැපවෙලා ඉන්නවා එකිනෙකාව ආරක්ෂා කරන්න, ඉතින් මේ ආරක්ෂාව ලබා දෙන්නේ කොන්දේසි රහිතවයි.

නේටෝ ආරක්ෂාව යුරෝපයට වගේම ඇමරිකා එක්සත් ජනපදයටත් ඉතාමත් වැදගත්.

ඒ නිසා ශක්තිමත් නේටෝ සංවිධානයක පැවැත්ම යුරෝපයට මෙන්ම ඇමරිකාවටත් අවශ්‍යයි."

මීට අමතරව ලෝක නායකයන් බොහෝ දෙනකු ඇමරිකාවේ අනාගත ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සහයෝගයෙන් කටයුතු කරන බව ප්‍රකාශ කළ ද ඇතැම් රටවල් ඇතිවිය හැකි නව වෙනස සම්බන්ධයෙන් සිය දැඩි අවධානය සහ සැලකිල්ල යොමු කරමින් සිටී.