සිරියාව: 'ගුවන් ප්‍රහාරයකින් එකම පවුලේ දාහතරක් මරුට'

සිරියාවේ අලෙප්පෝ නගරයේ නැගෙනහිර කලාපයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් එකම පවුලේ සාමාජිකයන් 14 දෙනෙකු මරුවමුට පත් වී ඇති බව එරට සිවිල් ස්වේච්ඡා ආරක්ෂක බලකායක් පවසයි.

මරුමුවට පත් පිරිස අතරට සති දෙකක් වයසැති බිලිඳුන් දෙදෙනෙක් සහ වයස අවුරුදු අටට අඩු දරුවන් හය දෙනෙක් ද අයත් වෙති.

අලෙප්පෝ නගරයේ ගුරුවරයකු වශයෙන් සේවය කරන පුද්ගලයකු බීබීසීයට පැවසුවේ ගුවන් ප්‍රහාරවලට ලක් වී පුද්ගලයන් ගණනාවක්ම මිය ගොස් ඇති බවය.

'අවස්ථා ගණනාවක්ම අපි නින්දෙන් ඇහැරුනා. එක් ගුවන් ප්‍රහාරයකින් මිනිස්සු විසි පස් දෙනෙක් මැරුණා. මුළු නගරය පුරාම පනස් දෙනෙක් පමණ අද මිය ගොස් තිබෙනවා,' ඔහු පැවසීය.

සිරියාවේ පැවති තාවකාලික සටන් විරාමය බිඳ වැටීමෙන් අනතුරුව රුසියාවේ සහ සිරියානු ආණ්ඩුවේ ගුවන් යානා විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් සිය ගණනක් මරුමුවට පත් වී තිබේ.

කැරලිකරුවන් පමණක් සිය ගුවන් ප්‍රහාරවල ඉලක්කයවන බව රුසියාව සහ සිරියානු ආණ්ඩු පවසති.