සිරියාව: 'ජීවිත විසි ලක්ෂයක් අනතුරේ'

සිරියාවේ අලෙප්පෝ නගරයේ කැරලිකරුවන් සහ සිරියානු ආණ්ඩුවේ හමුදා අතර තවදුරටත් දරුණු සටන් පවතියි.

ආහාර සහ ඖෂධ සැපයුම් අවසන් වී ඇති අතර සාමාන්‍ය ජනතාව ගැටුම්වලට මැදි වීම සම්බන්ධයෙන් බිය පළ වේ.

අලෙප්පෝ නගරය තුළ වහා සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටියි.

ජල සහ විදුලි සැපයුම නොමැතිව සාමාන්‍ය වැසියන් ලක්ෂ විස්සකට අධික සංඛ්‍යාවක් පීඩාවට පත් වී සිටින බවටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු හඟවා තිබේ.

නගරයේ සේවයේ යෙදී සිටින වෛද්‍යවරයකු බීබීසීයට කියා සිටියේ ඔහු විසින් දිනකට ප්‍රතිකාර ලබා දෙනු ලබන රෝගීන් සංඛ්‍යාව එකසිය පනහ දක්වා ඉහළ ගොස් ඇති බවයි.

සටන් ඇවිලීමට පෙර, දිනකට ප්‍රතිකාර ලබා දුන් රෝගීන් සංඛ්‍යාව හා සැසඳීමේදී මේ වන විට එම සංඛ්‍යාව දෙගුණයකටත් වැඩි අගයකින් ඉහළ ගොස් ඇති බවයි ඉහත කී වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.