චීන සිරගෙදර වසර දෙකක් ගෙවා යළි කැනඩාවට

Photo of the Garratt family in front of the bridge linking China and North Korea

ඡායාරූප මූලාශ්‍රය, SIMEON GARRATT

ඡායාරූප ශීර්ෂ වැකිය, ජුලියා සහ කෙවින් ගැරත් තම දැරූ දෙදෙනා සමග

වසර දෙකකට පෙර චීනයේ දී 'ඔත්තු සැපයූ බවට' චෝදනා ලබා බිරිඳද සමග සිරගත කෙරුණු කැනේඩියානු ජාතිකයෙකු යළි නිවෙස් බලා පැමිණියේය.

2014 වසරේ අගෝස්තු මාසයේ දී කෙවින් ගැරත් සහ ඔහුගේ බිරිඳ ජුලියා ගැරත් චීන බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුණේ රාජ්‍ය රහස් සොරකම් කිරීමේ වරදටයි.

කෙසේවුවද, ඊළඟ වසරේ පෙබරවාරි මාසයේ දී ජුලියා ඇපමත නිදහස් කෙරිණි.

අත්අඩංගුවට ගන්නා විට මෙම යුවල චීනයේ උතුරු කොරියානු දේශ සීමාවේ පදිංචි වී සිටි අතර තමන් සරණාගතයන්ට උදව් කරන බවයි පවසා තිබුණේ.

මෑතක දී සිදුවූ කැනඩා අගමැතිවරයා ගේ ප්‍රථම චීන චාරිකාවෙන් පසුවයි කෙවින් ගැරත් නිදහස් කෙරුණේ.

Kevin Garratt is reunited with his wife Julia Garratt in Vancouver

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, කෙවින් ගැරත් සහ ජුලියා යළි හමුවූ අවස්තාව

ගැරත් පවුල විසින් නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වන්නේ නඩු විභාගයකින් අනතුරුව බ්‍රහස්පතින්දා කෙවින් ගැරත් නිදහස ලැබූ බවයි.

කෙවින් නිදහස් කර ගැනීම සඳහා උපකාර කළ සැමට ස්තුතිය පුදකරන බවත් එහි සඳහන් වේ.

මේ අතර කෙවින් ගැරත්ට යළි නිවෙසට පැමිණීමට හැකිවීම පිළිබඳව තමා සතුටට පත්වන බවයි කැනඩා අගමැතිවරයා පවසා තිබුණේ.