ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සිරියානුවෙක් ජර්මනියේදී බෝම්බයක් පුපුරවා ගනියි
දේශපාලන රැකවරණය සඳහා අයැදුම් කොට ප්‍රතික්ෂේප වූ සිරියානු ජාතිකයකු විසින් දකුණු දිග ජර්මනියේ සංගීත සැණකෙළියක් අසලදී බෝම්බයක් පුපුරවා හැරීමෙන් දොළොස් දෙනකු තුවාල ලබා තිබේ.
බෝම්බය පුපුරවා ගත් විසි හත් හැවිරිදි සිරියානු ජාතිකයා මරුමුවට පත් වී ඇති බව බලධාරීහු පවසති.
ඒ සමග දෙදහස් පන්සීයක පමණ පිරිසක් සැණකෙළි භූමියෙන් ඉවත් කොට තිබේ.
ඇන්ස්බැක් නගරයේ පැවති සංගීත සැණකෙළියට ඇතුළු වීමට ඉහත කී පුද්ගලයාට අවසර ලබා දී නොමැති බවත් අනතුරුව ඔහු විසින් සිය ගමන් මල්ල තුළ වූ බෝම්බය පුපුරවා හැර ඇති බවත් බැවේරියා ප්‍රාන්තයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා කියා සිටියේය.
ඉහත කී පුද්ගලයාගේ දේශපාලන රැකවරණය අයදුම්පත මීට වසරකට ඉහත දී ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති අතර වසරක කාලයක් තාවකාලිකව ජර්මනියේ රැඳී සිටීමට ඔහුට ඉඩ ලබා දී ඇති බවත් අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සඳහන් කළේය.
ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ඔහු මීට ඉහත අවස්ථා දෙකකදී සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කොට ඇති බවයි.
සතියක් ඇතුළත බැවේරියා ප්‍රාන්තයේ සිදු වූ තෙවන ප්‍රහාරය මෙයයි.