ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඩකා අගනුවර ආපන ශාලාවක වෙඩි හුවමාරුවක්
බංග්ලාදේශයේ ඩකා අගනුවර රාජ්‍යතාන්ත්‍රිකයන් වෙසෙන ප්‍රදේශයේ ආපන ශාලාවක පොලිසිය සහ සන්නද්ධ කණ්ඩායමක් අතර වෙඩි හුවමාරුවක් හටගත් බව බලධාරීහු පවසති.
ගුල්ශාන් දිස්ත්‍රික්කයේ ආපන ශාලාවේ වෙඩි හුවමාරුවෙන් පොලිස් නිලධාරීන් ඇතුළු තිදෙනකු මේ වන විට ප්‍රහාරයෙන් තුවාල ලබා තිබෙන බවත් පොලිසිය පවසයි.
තුවක්කුකරුවන් පිරිසක් Holey Artisan Bakery ආපන ශාලාවට ඇතුළු වී එක්වරම වෙඩි තැබීමට පටන්ගත් බවයි, ඩේලි ස්ටාර් පුවත්පත වාර්තා කරන්නේ.
'වෙඩි තැබීමක් සහ ප්‍රාණ ඇපකරුවන් රඳවා ගැනීමක්' පිළිබඳව වාර්තා පල වන බවයි, ඩකා අගනුවර ඇමෙරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක සඳහන් කරන්නේ.
පොලිසිය සහ ආරක්ෂක හමුදාව විසින් ආපන ශාලාව ඇතුළු ප්‍රදේශය සීල් තබනු ලැබ තිබේ.
ඉස්ලාමීය කැරලිකරුවන් විසින් ප්‍රහාරය එල්ල කරන ලදැයි සැක කරන බව පොලිස් නිලධාරියෙක් බීබීසී යට පැවසූ නමුත්, ප්‍රහාරකයන් කවුරුන්ද යන්න තවමත් පැහැදිලි නැහැ.
මෙවැනි වෙඩි හුවමාරු පිළිබඳව බංග්ලාදේශයෙන් නිරතුරුව වාර්තා නොවන නමුත්, ඉස්ලාමීය කැරලිකරුවන් විසින් සිදු කරන ලදැයි සැක කෙරෙන ඝාතන මාලාවකින් පසුව මේ ප්‍රහාරය එල්ල වූ බවයි දකුණු ආසියාව භාර බීබීසී සංස්කාරිකා ජිල් මැගිවරින් වාර්තා කරන්නේ.