ඇමරිකානු හමුදා කඳවුරට එරෙහිව ඔකිනාවාහි උද්ඝෝෂණයක්

ජපානයේ ඔකිනාවා දූපතේ වැසියන් දහස් ගණනක් එහි පිහිටුවා ඇති ඇමරිකානු හමුදා කඳවුර ට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වුහ.

වයස විස්සක් වූ ජපන් ජාතික තරුණියක් දුෂණය කොට මරා දැමීමේ සිදුවීමකින් පසුවයි මෙවැනි උද්ඝෝෂණ ආරම්භ වූයේ.

හිටපු ඇමරිකානු නාවුක සෙබලෙකු එම ජපන් තරුණිය ගේ ඝාතනයට චෝදනා ලබා ඇති බවයි වාර්තා වුයේ.

ඔකිනාවා හි ඇමරිකානු හමුදා කඳවුර පිළිබඳව පෙර පටන් පැවති විරෝධය යලි මතුවී ආවේ ඝාතන සිද්ධියට එරෙහිව ඇතිවූ උද්ඝෝෂණ සමගයි.

කෙසේවුවද ඇමරිකාව සහ ජපානය යන රටවල් දෙකේම රජයන් විසින් මතුකොට දක්වා තිබුණේ චීනයේ බලපෑම මතුවෙමින් තිබෙන මොහොතක ආරක්ෂාව සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගීතාව අත්‍යාවශ්‍ය වන බවයි.

ඔකිනාවා ඇමරිකානු හමුදා කඳවුරේ හමුදා සාමාජිකයන් 26,000 සිටින බවයි පැවසෙන්නේ.

ඉරිදා පැවති උද්ඝෝෂණය ආරම්භ වූයේ ඝාතනයට ලක්වූ රිනා ශිමබුකුරෝ වෙනුවෙන් සුළු මොහොතක නිහඬ තාවයක් පවත්වමින්.

ඇගේ පියා විසින් පැමිණ සිටි පිරිස වෙත පණිවුඩයක් ඉදිරිපත් කිරීමට ද කටයුතු යොදා තිබුණි.