බස් රථවලින් කප්පම් ගැනීම 'නැවැත්වීමට පියවර'

ඡායාරූප මූලාශ්‍රය, NewsFirst
බස් රථ හිමිකරුවන්ගෙන් සහ රියදුරන්ගෙන් කප්පම් ගැනීම වැළැක්වීම පිණිස වැඩපිළිවෙළක් වහාම කි‍්‍රයාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝග කළේය.
ජනාධිපතිවරයා පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිවල සභාපතිවරුන්ට එම උපදෙස් ලබා දුන්නේ ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ ගැටළු විමසීම පිණිස ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී.
"දවසකට බස් හිමිකරුවන් ගෙන්, රියදුරන් ගෙන් පාට් එක දාල, බයගන්නල අයිආර්සී විදියට ගන්න ගාන කීයද කියල ඔබතුමාලා දැනගන්න ඕනේ," ජනාධිපතිවරයා පැවසීය.
මෙතෙක් පැවති ආණ්ඩු එම කප්පම් ව්‍යාපාරයට එරෙහිව පියවර ගැනීමට උත්සුක නොවූවත් කලක සිට පවතින මෙම දූෂිත තත්වය වැළැක්වීමට පිණිස දැඩි තීන්දු තීරණ ගැනීමට පසුබට නොවන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප‍්‍රමුඛ පළාත් ප‍්‍රවාහන අමාත්‍යවරුන් සහ ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන්ද සාකච්ඡාවට එක්ව සිටියහ.
පළාත් වශයෙන් විමධ්‍යගත පරිපාලනයක් ක්‍රියාත්මක වන නමුත් රට පුරාම කි‍්‍රයාත්මක විය යුත්තේ එකම ප‍්‍රතිපත්තියක් බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ඒකාබද්ධ කාලසටහනක් කි‍්‍රයාත්මක වන නමුත් බොහෝ විට එකවර බස් රථ ධාවනය වීම සහ පෞද්ගලික බස් රථ මන්දගාමීව ධාවනය කිරීම හේතුවෙන් අපේක්ෂිත ආදායම් ඉලක්ක ළගා කර ගැනීමට නොහැකිවීම ඇතුළු කරුණු පිළිබඳවද එහිදී අවධානයට ලක් වූ බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.




