මාලඹේ වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල් තුළ පුහුණුව

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකඟත්වය පළ කළේය.
සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ලිඛිතව මේ බව අධිකරණයට දැනුම් දුන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා දීම සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රතික්ෂේප කර ඇති බවට චෝදනා කරමින් අදාළ විදුහලේ සිසුන් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේයි.
ඒ අනුව මානසික වෛද්‍ය විද්‍යාව සහ වෝහාරික වෛද්‍ය විද්‍යාව පිලිබඳ සායනික පුහුණුව අවිස්සාවේල්ල රජයේ රෝහලේ දී ලබා දීමට එකඟතාව පළ කර තිබේ.
රු 50,000

ඊට අමතරව මහජන සෞඛ්‍ය සහ වසංගත රෝග පිළිබඳ සායනික පුහුණුව කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ දී ලබා දීමටද සෞඛ්‍ය අමාත්‍යංශය අධිකරණයේ දී එකඟතාව පළ කළේය.
මෙම පුහුණුව සඳහා එක් සිසුවෙකුගෙන් රුපියල් පනස් දහසක මුදලක් අය කරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය අධිකරණයට ලබා දුන් ලිඛිත ප්‍රකාශයේ සඳහන් වන්නේ.

උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ඇතිව පවත්වා ගෙන ගිය මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අනුමැතිය ලබා නොදීම හේතුවෙන් මේ වන විට එහි ඉගෙන ගන්නා සිසුන් දහසක ගේ පමණ අනාගතය අවිනිශ්චිත තත්වයක පවතියි.
ඉහත කී පෙත්සම පිළිබඳ විභාගය ජනවාරි මස 18 වනදාට කල් තැබූ අධිකරණය එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන මෙන් ද නීතිපතිවරයාට නියම කළේය.




