ඉඩම් දුන්නා කියලා 'බොරුවට පත්තරේ දාලා වැඩක් නෑ'

ශ්‍රී ලංකාවට විදේශ විනිමය සපයා දෙන මාර්ග අතර තේ අපනයනය, ඇඟලුම් කර්මාන්තය සහ මැදපෙරදිග විදෙස්ගත ගෘහ සේවිකාවන්ට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයක්.
රටට එවන් විදේශ විනිමයක් ලබාදීම පිණිස උඩරට සහ පහතරට ප්‍රදේශයන්හි තේ කර්මාන්තයේ යෙදී සිටින වතු කම්කරුවන්ගේ ජීවන තත්වය ආර්ථික වශයෙන් මෙන්ම සෞඛ්‍ය අතින්ද පවතින්නේ ඉතාමත් පහත මට්ටමක.
බ්‍රිතාන්‍ය තේ වැවිලිකරුවන් විසින් මෙරටට ගෙන ආ ඉන්දීය දමිළ වතු කම්කරුවන්ගෙන් බහුතරයක් අදටත් දිවි ගෙවන්නේ බ්‍රිතාන්‍යයන් විසින් ඉදි කරන ලද කුඩා ලයිම් කාමර තුළයි.
එමෙන්ම පරම්පරා ගණනාවක සිට ලේ දහ බිඳු හෙලන ඉන්දීය වතු කම්කරුවන්ගෙන් බහුතරයකට රට තුළ බිම් අඟලක හෝ හිමිකමක් නැති බවත් නොරහසක්.

ඡායාරූප මූලාශ්‍රය, Getty
මැතිවරණයෙන් අනතුරුව ඔවුන්ට නිවාස සහ යටිතල පහසුකම් ලබා දෙනවාය යන්න මැතිවරණ සමයේ ඉන්දීය වතු කම්කරුවන් වෙසෙන උඩරට සහ පහතරට ප්‍රදේශවලට ගොස් වතු කම්කරුවන් හමුවන අපේක්ෂකයන්ගේ එක් සාම්ප්‍රදායික පොරොන්දුවක්.
එලෙස සින්නක්කර ඔප්පු ලබා දෙන බව පවසමින් නව ආණ්ඩුව ඉන්දීය වතු කම්කරුවන් අතර ඉඩම් බෙදා දී ඇති නමුත් ඒවායේ සැබෑ හිමිකාරිත්වය වතු කම්කරුවන් වෙත පවරා නොමැති බව ලියෝ මාර්ග ආශ්‍රම් සංවිධානයේ ගී ද පොංගලම් පියතුමා පවසති.
'පත්තරේ දාලා වැඩක් නැහැ'
‘ආණ්ඩුව කිව්වා ඉඩම් දෙනවා කියලා. දෙනවා නම් සම්පූර්ණ සින්නක්කර ඉඩම් ලබා දෙන්න ඕනි. එහෙම නැතුව නිකන් පත්තරේ දාල වැඩක් නැහැනේ ඉඩම් දුන්නා කියලා’ ගී ද පොංගලම් පියතුමා කියා සිටියේ බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වෙසෙන දෙමළ ප්‍රජාවගේ ගැටළු සම්බන්ධයෙන් නොයෙක් දෙනා හඬ නගන නමුත් ඉන්දීය සම්භවයක් සහිත දමිළ වතු කම්කරුවන් වෙනුවෙන් අඩු අවධානයක් යොමු වී ඇති බවයි පියතුමා පෙන්වා දෙන්නේ.
'දෙමළ වතු කම්කරුවන් තවමත් ජීවත් වෙන්නේ අවුරුදු 150 පමණ පැරණි ලයිම් කාමරවල. මානව හිමිකම් අතින් බැලුවොත් ඔවුන්ගේ මූලික හිමිකම් උල්ලංඝනය වෙලා තිබෙනවා.'
එක් පවුලකට අවම වශයෙන් පර්චස් 20 ක ඉඩමක් ලබා දෙන ලෙස බලයට පත් වූ විවිධ රජයන්ගෙන් ඉල්ලා සිටි නමුත් කිසිවෙක් ඒ සඳහා පියවර ගැනීමට ඉදිරිපත් වී නොමැති බවයි ගී ද පොංගලම් පියතුමා සඳහන් කළේ.
නව ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු ඉඩම් ඔප්පු බෙදා දී ඇති නමුත් එම ඉඩම්වල සින්නක්කර අයිතිය වතු කම්කරුවන් වෙත හිමි වී නැති බව එතුමා පෙන්වා දෙති.
'ආණ්ඩුවටයි අයිති'
‘නිකන් කොලයක් අත්සන් කරලා දීලා තියනවා. උඩරට වතු ඉඩම් ඔක්කොම ආණ්ඩුවට අයිතියි. ආණ්ඩුව තමයි මේ ඉඩම් දෙන්න ඕනි. ආණ්ඩුව කැමතිනම් දෙන්නත් පුළුවන් ’

නෙදර්ලන්ත ආධාර යටතේ වතු කම්කරුවන් සඳහා නිවාස 25000 ක් ගොඩ නගා ඇති නමුත් එම ඉඩම්වල සින්නක්කර අයිතිය පවරා නොමැති බව පියතුමා කියා සිටියහ.
තවමත් නිවාස නොමැති විශාල පිරිසක් අඩු පහසුකම් යටතේ ලයිම් කාමර තුළ වෙසෙන බවයි පියතුමා සඳහන් කළේ.
'ඒ කාමරවල ඉන්න හරි අමාරුයි. හරියට වාතාශ්‍රය ලැබෙන්නේ නැහැ.වැසිකිලි නැහැ. ලෙඩ රෝග නිතර හැදෙනවා. ඒ නිසා ලයිම් කාමරවලින් මාරු කරලා මේ අයට අලුත් නිවාස දෙන්න ඕනි.'
83 කලබල සමයේ මෙරටින් ඉන්දියාව බලා ගිය දමිළ වතු කම්කරුවන් 23000 ක් පමණ තවමත් ඉන්දියාවේ අනාථ කඳවුරුවල වෙසෙන බව පවසන පියතුමා ඔවුන්ටද ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාදීමේ අවශ්‍යතාවය අවධාරණය කරයි.
මේ පිළිබඳව කරුණු විමසීම පිණිස ඉඩම් අමාත්‍ය එම්කේඩීඑස් ගුණවර්ධන සහ වතුකරයේ ජනතාව නියෝජනය කරන මනෝ ගනේෂන් අමාත්‍යවරුන් ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.








