වාස් ගුණවර්ධනට මරණ දඬුවම

බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කරනු ලැබීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන සහ තවත් සිව් දෙනෙක් එම චෝදනාවලට වැරදිකරුවන් වන බව කොළඹ විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද(27) තීන්දු කරනු ලැබුණි.

ඒ අනුව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හය දෙනාම මරණීය දණ්ඩනයට යටත් කරනු ලැබ ඇත.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන

ඡායාරූප මූලාශ්‍රය, BBC World Service

ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන

හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා,ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන සහ තවත් හතර දෙනකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණ අතර විත්තිකරුවන් සියලු චෝදනා වලට වැරදිකරුවන් වන බවයි ජූරි සභාවකින් තොරව නඩුව විභාග කළ විශේෂ මහාධිකරණ විනිසුරු මණ්ඩලයේ නිගමනය වුනේ.

නඩු තීන්දුව පිටු 802කින් සමන්විත වන බව අධිකරණ ආරංචි මාර්ග වලින් පැවසෙයි.

1981 වසරේ උප පොලිස් පරීක්ෂකවරයකු හැටියට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුන වාස් ගුණවර්ධන 2013 වසරේ අත්අඩංගුවට ගනු ලබන විට නියෝජ්‍ය පොලිස්පති පදවිය තෙක් උසස් වීම් ලබා සිටියේය.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට මරණ දඬුවම නියම වූ පළමු අවස්ථාව මෙයයි.