වියලි කාලගුණයෙන් ලක්ෂ දෙකක් පීඩාවට

මඩකලපුව දිස්ත්‍රික්කයේ පමණක් පවුල් 20,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිති
ඡායාරූප ශීර්ෂ වැකිය, මඩකලපුව දිස්ත්‍රික්කයේ පමණක් පවුල් 20,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිති

ශ්‍රී ලංකාව පුරා දිස්ත්‍රික්ක ගණනාවකට බලපා තිබෙන දැඩි වියලි කාලගුණය හේතුවෙන් ලක්ෂ දෙකකට ආසන්න ජනතාවක් පීඩාවට පත් වී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ ජනතාවට අවශ්‍ය පානීය ජලය ලබාදීම පිණිස කටයුතු සූදානම් කර ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.

ඉඩෝරයෙන් සිඳී ගිය පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය

ඡායාරූප මූලාශ්‍රය, Thakshila Dilsrukshi

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉඩෝරයෙන් සිඳී ගිය පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය

දැඩි ඉඩෝරය හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ පමණක් පවුල් 20,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බවයි, ශාන්ති සෙල්වදුරේ මඩකලපුවේ සිට වාර්තා කරන්නේ.

මඩකලපුව පමණක් නොව පොලොන්නරුව, යාපනය ඇතුළු වියලි කලාපයේ දිස්ත්‍රික්ක ගණනාවක වෙසෙන විශාල ජනකායක් පානීය ජල හිඟයකට මුහුණ දී සිටිති.

ඉඩෝරයෙන් පීඩා විඳින යාල වනෝද්‍යානයේ වනසතුන් (සංරක්ෂිත ඡායාරූපයක්)
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉඩෝරයෙන් පීඩා විඳින යාල වනෝද්‍යානයේ වනසතුන් (සංරක්ෂිත ඡායාරූපයක්)

ලිං සහ වැවුවල ජලය සිඳී ගොස් ඇති බැවින් පානීය ජලය පමණක් නොව ගෙවතු වගා වැනි කටයුතු සඳහාද ප්‍රබල ජල හිඟයක් පවතින බවත් ප්‍රදේශවාසීහු පවසති.

"ගිනි තිබ්බොත් අළුවෙයි. කෙසෙල්, කවුපී, රටකජු වගාවන කරලා තිබුණා. දැන් ඒවා වේලිලා යනවා දකින කොට හරිම දුකයි," මඩකලපුවේ කාන්තාවක් කියා සිටියාය.

බවුසරවලින් හෝ දින දෙකක් මුළුල්ලේ ජලය නොලැබුන බව තවත් කාන්තාවක සඳහන් කළාය.

'කෙසෙල්, කවුපී, රටකජු වගාවන කරලා තිබුණා. දැන් ඒවා වේලිලා යනවා දකින කොට හරිම දුකයි'

ඡායාරූප මූලාශ්‍රය, Thakshila Dilrukshi

ඡායාරූප ශීර්ෂ වැකිය, 'කෙසෙල්, කවුපී, රටකජු වගාවන කරලා තිබුණා. දැන් ඒවා වේලිලා යනවා දකින කොට හරිම දුකයි'

දැඩි ඉඩෝරය හේතුවෙන් යාල වනෝද්‍යානය මාසයක කාලයකට වසා දමන බව මේ අතර වනෝද්‍යාන බලධාරීහු නිවේදනය කළහ.