අරන්තලාවේ සිට සාම පණිවිඩයක්

පුද්ගලික අවශ්‍යතා ඉටු කර ගනුවස් මිනිස් ජීවිත සමග සෙල්ලම් නොකරන මෙන් උතුරු නැගෙනහිර පිරිවෙන් භාර අධ්‍යාපන අධ්‍යක්ෂක මහාවාපී මහවිහාරාධිපති අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති කිරිඳිවැල සෝමරතන හිමියෝ පක්ෂ විපක්ෂ සියලු දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටිති.
උන්වහන්සේ එසේ කියා සිටියේ එල්ටීටීඊ සංවිධානය විසින් මීට වසර විසි අටකට පෙර අරන්තලාවේදී ඝාතනය කරන ලද උතුරු නැගෙනහිර අධිකරණ සංඝනායක හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර නාහිමි ඇතුළු තිස් එක් නමක් අනුස්මරණය කොට පැවති ගුණසමරු උළෙලක් අමතමින්.
‘මම මේ අරන්තලාවේ ඉඳන් රටට කියනවා, මේ ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. තමන්ගේ පෞද්ගලික එදිරිවාදිකම්, කෝන්තර, හිත යට තියන නොයෙක් දේවල් ඒවා වෙන විදිහකට විසඳ ගන්න. මේ මතු පරපුරේ දරුවොත් එක්ක මම අරන්තලාවේ ඉඳලා මේ රටේ දේශපාලන අධිකාරියේ පක්ෂ විපක්ෂ සියලු දෙනාට හඬ නගලා බොහොම කරුණාවෙන් බොහොම ආදරයෙන් කියා සිටිනවා’ උන්වහන්සේ පැවසූහ.
'ලෝ සැමට මෛත්‍රිය'
ජාතීන් අතර වෛරය පැතිර වීම මෙම ගුණසමරු උළෙලේ අරමුණ නොවන බවත් ශාස්ත්‍රපති කිරිඳිවැල සෝමරතන හිමියෝ සඳහන් කළහ.

‘මේ ස්මාරක තුළින් අපි ජාති භේදයක් ඇති කර ගන්න හෝ යම් කණ්ඩායමකට අගෞරවයක්, නිගරුවක් කරන්න නෙවෙයි’ එහිමියෝ පැවසූහ.
අරන්තලාවේ ඛේදවාචකය සිදු වී වසර විසි අටක් ගත වන දිනයේ තමන්වහන්සේ ලෝක සාමය ප්‍රර්ථනා කරන බව ප්‍රහාරයෙන් දිවි බේරා ගත් හඟුරන්කෙත පුඤ්ඤසාර හිමියෝ කියා සිටියහ.
‘අරන්තලාව ඛේදජනක භික්ෂු ඝාතනය තුළින් අප අදහස් කරන්නේ මේ රටේ , මේ ලෝකයේ හෝ මේ විශ්වයේ ජීවත් වන කිසිම ජාතීන් අතර නැවතත් මෙවන් තත්වයක්, වෛරයක් ගොඩ නොනැඟී සාමය රජයන, මිනිසුන් අතර දයාව කරුණාව මෛත්‍රිය සපිරුණු ලෝකයක් ප්‍රාර්ථනා කරනවා’ උන්වහන්සේ සඳහන් කළහ.
අරන්තලාව භික්ෂු කෞතුකාගාරයට මුල් ගල තැබීමද ගුණසමරු උළෙලට සමගාමීව සිදු විය.








