ශිරන්ති රාජපක්ෂගෙන් ප්‍රශ්න කිරීම කතානායක නිල නිවසේදී

ඡායාරූප මූලාශ්‍රය, Getty

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID)විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගෙන් අද (01) යළිත් ප්‍රශ්න කරනු ලැබුණි.

හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට බීබීසියට ප්‍රකාශයක් කරමින්, මේ වන විට එම ප්‍රශ්න කිරීම් නිම වී ඇති බවයි සඳහන් කළේ.

හිටපු පළමු කාන්තාවගෙන් ප්‍රශ්න කෙරෙන්නේ ඇයගේ නමින් පවත්වා ගෙන යන ලද ‘සිරිලිය සවිය’ බැංකු ගිණුම පිළිබඳවයි.

මහජන බැංකුවේ මරදාන සුදුවැල්ල ශාඛාවේ පවත්වා ගෙන ගිය ‘සිරිලිය සවිය’ ගිණුමට බැංකු ශාඛා රැසකින් රුපියල් කෝටි ගණනින් මුදල් බැර කිරීම තුළින් සැක සහිත ගනුදෙනුවක් සිදු වී ඇති බවට ඉදිරිපත් වී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙනුයි ශ්‍රී ලංකාවේ හිටපු පළමු කාන්තාවගෙන් ප්‍රශ්න කෙරෙන්නේ.

එසේම එම ගිණුම විවෘත කිරීම සඳහා ශිරන්ති රාජපක්ෂ ව්‍යාජ හැඳුනුම් පත් අංකයක් දී ඇති බවත් පැමිණිලි පාර්ශ්වය පෙන්වාදෙයි.

අද (01) ප්‍රශ්න කරනු ලැබීම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තුළ සිදු කෙරෙනු ඇතැයි සලකමින් මාධ්‍යවේදීන් රැසක් එම ස්ථානය ඉදිරිපිට රැඳී සිටියත් එය සිදු කර තිබෙන්නේ කතානායක නිල නිවසේ දී බවත් වාර්තා වෙයි.

ආරක්ෂක හේතූන් සලකමින් එවැනි පියවරක් ගන්නා ලද බවයි කොළඹින් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ.

පොලිස් ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දීම සඳහා ශිරන්ති රාජපක්ෂ කතානායක නිල නිවස කරා යද්දී ඇයගේ සැමියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් ඒ සමඟ ගමන් ගත්තේය.