උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමේ අර්බුදයක්

ශ්‍රී ලංකාවේ යුද කලාපයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරත කණ්ඩායමක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේ යුද කලාපයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරත කණ්ඩායමක්

උතුරු නැගෙනහිර ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමේ ජාත්‍යන්තර සංවිධානවලට ලැබෙන මුදල් ප්‍රතිපාදන අධික ලෙස කප්පාදුවට ලක්වීමත් සමගම එම පලාත්වල බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු මන්දගාමී තත්ත්වයකට පත්ව ඇතැයි ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ විශේෂඥයෝ ප්‍රකාශ කරති.

හෙලෝ ට්‍රස්ට් නැමති ජාත්‍යන්තර සංවිධානය ඔවුන්ගේ සේවකයින් 400 කට ආසන්න ප්‍රමාණයක් සේවයෙන් ඉවත් කිරීමත් සමගම බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් දැඩි අර්බුධකාරී තත්ත්වයක් හටගෙන තිබේ.

ප්‍රතිපාදන නැහැ

මෙසේ විදේශීය මුදල් ප්‍රතිපාදන අඩුවීම කෙරෙහි බෙහෙවින්ම බලපා ඇත්තේ ශ්‍රී ලංකාව මේ වන විට ඉහල ආර්ථික සංවර්ධනයක් ලබා තිබීම බව ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ පිළිබද පර්යේෂකයෙකු වන විද්‍යා අබේගුණවර්ධන කියාසිටියේය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සරණාගතයින් ඉතා ඉක්මනින්ම යළි පදිංචි කරවීම නිසා ශ්‍රී ලංකාවට තවදුරටත් කඩිනම් මානුෂීය ආධාර අවශ්‍ය නොවන බවට එම රටවල් විශ්වාශ කොට ඇතැයිද ඔහු පෙන්වා දෙනවා.

බිම්බෝම්බ විනාශ කෙරෙන උපකරණයක්

ඡායාරූප මූලාශ්‍රය, none

ඡායාරූප ශීර්ෂ වැකිය, බිම්බෝම්බ විනාශ කෙරෙන උපකරණයක්

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවෙන් සහමුලින්ම බිම් බෝම්බ ඉවත් කිරීමේ වර්ෂය ලෙස 2020 වර්ෂය නම්කොට තිබුණද වර්තමාන තත්ත්වය දෙස බලන විට එම සිහිනය සැබෑ කරගැනීමට නොහැකි ආකාරයක් පෙන්නුම් කරන්නේ බිම්බෝම්බ ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගත වූ වසර කීපය ඇතුළත ලබා ඇති මන්දගාමී ස්වරූපය යැයිද විද්‍යා අබේගුණවර්ධන කියා සිටිනවා.

වසරින් වසර පහළට

2011 වර්ෂයේදී උතුරු නැගෙනහිර පළාත්වල වර්ග කිලෝමීටර් 53 ක භූමියක බිම්බෝම්බ ඉවත් කළ නමුත් 2012 වර්ෂයේදී එම ප්‍රමාණය වර්ග කිලෝමීටර් 22ක් දක්වා පහත වැටී ඇති බවද ඔහු සදහන් කළේය.2013 වන විට එම භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 8 ක් දක්වා පහත වැටී 2014දී වර්ග කිලෝමීටර් 5ක් දක්වා පහත වැටී ඇතයිද පෙන්වා දුන්නේය.

බිම් බෝම්බ අනතුරු ඇඟවීමක්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, බිම් බෝම්බ අනතුරු ඇඟවීමක්

මේ අනුව තවත් බිම් බෝම්බ ඉවත් කිරීමට හදුනාගෙන ඇති වර්ග කිලෝමීටර් 74 ක භූමි ප්‍රමාණයේ බිම් බෝම්බ ඉවත් කොට අවසන් කල හැකි දිනය ස්ථිරව ප්‍රකාශකිරීමට නොහැකි බව කී බිම් බෝම්බ පර්යේෂක විද්‍යා අබේගුණවර්ධන උතුරු නැගෙනහිර පළාත්වල බිම් බෝම්බ ඇති නමුත් තවමත් හදුනාගෙන නොමැති විශාල භූමි ප්‍රමාණයක් ඇති බවද කියා සිටියේය.

අමාත්‍යංශ මාරුවක්

බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාදාමය කළින් ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වුවද වර්තමානයේදී එම කටයුතු සිදු කරණු ලබන්නේ නැවත පදිංචි කරවීමේ අමාත්‍යංශය මගිනි.එම අමාත්‍යංශයේ උපදේශක බ්‍රැඩ්මන් වීරකෝන් කියා සිටියේ යළි පදිංචි කරවීමට දැන් සිටින වැසියන් ප්‍රමාණය ඉතා අඩු බැවින් බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ඉතා සෙමෙන් සිදුවන බවය.

අන්තර් ජාතික බිම් බෝම්බ ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව අත්සන් තබා නැති බවද එය එසේ වූ යේ එල්.ටී.ටී.ඊ.සංවිධානය සිටි කාලයේදී එසේ අත්සන් තැබුවේ නම් ඔවුන්ද ශ්‍රී ලංකා රජයට අයත් පිරිසක් බවට හැගීමක් ඇතිවන නිසා බවද බ්‍රැඩ්මන් වීරකෝන් වැඩිදුරටත් කියා සිටියේය.