'පිෂ්ට ධාතු අවම වන සේ බත් පිසිය හැකි' ක්‍රමවේදයක්

ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනයේ ශිෂ්‍යය සුදාහිර් ජේම්ස් සහ ආහාර පෝෂණය සහ රසායන විද්‍යා විද්‍යාඥ පුෂ්පරජා තමරජා

ඡායාරූප මූලාශ්‍රය, P Thavarajah and S James

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනයේ ශිෂ්‍යය සුදාහිර් ජේම්ස් සහ ආහාර පෝෂණය සහ රසායන විද්‍යා විද්‍යාඥ පුෂ්පරජා තමරජා
    • Author, සුනෙත් පෙරේරා
    • Role, බීබීසී සිංහල

පිෂ්ට ධාතු ශරීරයට අවශෝෂණය වීම අවම වන සේ බත් පිස ගත හැකි ක්‍රමවේදයක් සොයා ගත් බව ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙක් පවසයි.

ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනයේ ශිෂ්‍යයකු වන සුදාහිර් ජේම්ස් විසින් සිදු කරනු ලැබූ පරීක්ෂණයේ වාර්තා ප්‍රතිඵල ඇමරිකානු රසායන විද්‍යා සංගමයට ඉදිරිපත් කළ බව පර්යේෂණයේ උපදේශකවරයා වශයෙන් කටයුතු කළ ආහාර පෝෂණය සහ රසායන විද්‍යා විද්‍යාඥ පුෂ්පරාජා තවරාජා බීබීසීයට කියා සිටියේය.

‘බත් පිසීමේදී පොල් තෙල් ටිකක් දාන්න කියලා තමයි මේ ශිෂ්‍යයා සොයා ගෙන තියෙන්නේ. ආහාරය පිළියෙල කළාට පස්සේ ඔහු කියන්නේ ටික වෙලාවක් නිවෙන්න තියලා ආහාරයට ගන්න කියලා’ ඔහු පැවසීය.

එම පරීක්ෂණයෙන් ඉතා වැදගත් ප්‍රතිඵල ලැබී ඇතැයි සඳහන් කර ඇමරිකානු රසායන විද්‍යා සංගමය නිවේදනයක් නිකුත් කොට ඇති බවත් මහාචාර්ය පුෂ්පරාජා තවරාජා කියා සිටියේය.

ඒ ආකාරයට සකස් කළ බත් ආහාරයට ගැනීමෙන් ශරීරයට ජීරණය කර ගන්නා පිෂ්ට ධාතු ප්‍රමාණය අවම කර ගත හැකි බවයි ශ්‍රී ලංකාව, ඇමරිකාව සහ අප්‍රිකාව වැනි රටවල පර්යේෂණවල යෙදෙන මහාචාර්යවරයා සඳහන් කළේ.

‘මේ ආකාරයට පිෂ්ටවලින් භාගයකට කිට්ටු ප්‍රමාණයක් ජීරණය කළ නොහැකි ධාතු බවට පත් කරනවා අපේ ශරීරයට පිෂ්ටය ජීරණය කිරීමෙන් තමයි ග්ලුකෝස් එන්නේ. ඒ හරහා තමයි දියවැඩියාව ඇති වෙන්නේ. ඒ වගේම ස්ථුල භාවය ඇති වෙනවා’ ඔහු පැවසුවේය.

ඡායාරූප මූලාශ්‍රය, Pushparajah Thavarajah

එලෙස පිස ගන්නා බතක රස නොවෙනස්ව පවතින බවත් ඔහු සඳහන් කළේය.

සුදාහිර් ජේම්ස් සිය පරීක්ෂණය සඳහා සහල් වර්ග හතළිහක් යොදා ගෙන ඇති අතර ඉන් වර්ග දෙකකින් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බවයි ඔහු කියා සිටියේ.

‘ඒ හතළිහෙන් එයා දැක්කා මේක කරන්න පුළුවන් දෙකකට පමණයි කියලා. නමුත් එයා තවදුරටත් අධ්‍යනය කරමින් බලනවා මේක අනෙක් සහල්වලට කරන්න බැරි හේතුව මොකක්ද කියලා’ මහාචාර්යවරයා පැවසීය.

කෙසේ නමුත් බත් ආහාරයට ගැනීම පමණක් ස්ථුල භාවයට හේතු නොවන බව පවසන ආහාර පෝෂණය සහ රසායන විද්‍යා විද්‍යාඥ පුෂ්පරාජා තවරාජා ඒ සඳහා ව්‍යායාමවල නොයෙදීම සහ ජානමය කරුණු බලපාන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.