'ගෝඨාභයට එරෙහිව තවත් චෝදනා' - රාජිත

‘ඇවන්ට් ගාර්ඩ්’ අවි සමාගම සම්බන්ධ ක්‍රියාකාරකම් පමණක් නොව ‘ලංකා හොස්පිටල් සමාගම’ ඇතුළු තවත් ආයතන කීපයකම ගනුදෙනු වලදී හිටපු ආරක්ෂක ලේකම්වරයා බලය අයුතු ලෙස පාවිච්චි කර ඇති බවට කරුණු හෙළි වී ඇති බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්න පවසයි.

ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක ඇතුළු සිව් දෙනකුට එරෙහිව විදේශ සංචාර තහංචියක් පැනවීම සම්බන්ධයෙන් බීබීසිය කළ විමසීමක දී අදහස් පළ කරමිනුයි රාජිත සේනාරත්න ඇමතිවරයා එම ප්‍රකාශය කළේ.

පරීක්ෂණ දිගටම

‘ඇවන්ට් ගාර්ඩ්’ සමාගම පිහිටුවීම සහ එය ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට එල්ල වී තිබුණ චෝදනාවලින් ඔහු නිදහස් වෙන බව ආණ්ඩුවේම ඇතැම් අංශ වලින් ප්‍රකාශ කර තිබෙනවා නොවේදැයි බීබීසිය ප්‍රශ්න කළ විට රාජිත සේනාරත්න ඇමතිවරයා සඳහන් කළේ, එම චෝදනා සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ පැවැත්වෙන බවයි.

පොලිසිය රක්නා ලංකා ආරක්ෂක සමාගමේ අවි පිරික්සන අවස්ථාවක්
ඡායාරූප ශීර්ෂ වැකිය, පොලිසිය රක්නා ලංකා ආරක්ෂක සමාගමේ අවි පිරික්සන අවස්ථාවක්

‘එවැනි ප්‍රකාශන කිරීමට කිසි කෙනෙකුට අයිතියක් නැහැ. ඒ ගැන ඉහල මට්ටමේ පරීක්ෂණ තවමත් පැවැත්වෙනවා. ප්‍රශ්නය ගැන අවබෝධයක් තියෙන්නේ පරීක්ෂණ පවත්වන කණ්ඩායම් වලට පමණයි. ඒත් ඇතැමුන් විවිධ බලපෑම් යටතේ යම් යම් ප්‍රකාශන කරනවා’ ඇමතිවරයා පවසයි.

ඔවුන්ගෙන් ඇතැමෙක් හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් පත්වීම් දෙන ලද නිලධාරීන් වන බවත් රාජිත සේනාරත්න ඇමතිවරයා කියා සිටියි.

‘ඇවන්ට් ගාර්ඩ්’ ගනුදෙනු වලදී ඇතැම් නිලධාරීන් පවා අයුතු ආකාරයට යොදා ගෙන ඇති බවයි ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඉහත කී ප්‍රකාශන සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රතිචාරය විමසීමට දුරකථනය මගින් ඔහු සම්බන්ධ කර ගැනීමට බීබීසිය දැරූ ප්‍රයත්නය අසාර්ථක විය.

ගාල්ලේ තීන්දුව

‘ඇවන්ට් ගාර්ඩ්’ ආරක්ෂක සමාගම විසින් පවත්වා ගෙන යන ලද පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ අතරවාරයේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු කණ්ඩායම රටින් පිටවීම අත්හිටවන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමක් අනුවයි , ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ රටින් පිටවීම තහනම් නියෝගයක් පනවා තිබෙන්නේ.

ඇවන්ට් ගාර්ඩ් ආරක්ෂක භටයන්
ඡායාරූප ශීර්ෂ වැකිය, ඇවන්ට් ගාර්ඩ් ආරක්ෂක භටයන්

හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරයාට අමතරව ‘රක්නා ආරක්ෂක ලංකා’ පෞද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂ මේජර් ජනරාල් කේ.බී.එගොඩවෙල සහ ‘ඇවන්ට් ගාර්ඩ්’ ආරක්ෂක සමාගමේ කළ මණාකරන අධ්‍යක්‍ෂ මංජුල යාපාටත් ඉහත කී විදේශ සංචාර තහංචිය බල පැවැත්වෙයි.

‘ඇවන්ට් ගාර්ඩ්’ ආරක්ෂක සමාගමේ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන කාලය ඇතුළත අදාළ පුද්ගලයන් තිදෙනා රටින් පිටවීම අත්හිටවන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළ බව බීබීසිය කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශන කාර්යාලය විසින් තහවුරු කරනු ලැබුණි.