India's Daughter 'තහනම ඉවත් කරන්න'

ස්ත්‍රී දූෂණවලට එරෙහිව ඉන්දියාව පුරා උද්ඝෝෂණ ව්‍යාපාර දියත් විය

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ස්ත්‍රී දූෂණවලට එරෙහිව ඉන්දියාව පුරා උද්ඝෝෂණ ව්‍යාපාර දියත් විය

දිල්ලියේ ස්ත්‍රී දූෂකයන් සමඟ පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවක් ඇතුළත් බීබීසී රුපවාහිනී වාර්තා වැඩසටහනට පනවා තිබෙන තහනම ඉවත් කරන මෙන් ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ පුවත් පත් කතුවරුන් බොහෝ දෙනෙක් ඉන්දීය රජයෙන් ඉල්ලා සිටිති.

අදාළ තහනම සම්පූර්ණයෙන්ම යුතු දෙයක් බවයි, ඔවුන් පවසන්නේ.

"India's Daughter" රූපවාහිනී වාර්තා චිත්‍රපටය විකාශනය කිරීමට බීබීසීය ගත් තීරණය පිළිබඳව තමා වේදනාවට පත් වූ බව සඳහන් කළ ඉන්දියාවේ ස්වදේශ කටයුතු භාර ඇමති රන්ජිත් සිං එය විකාශනය කරනු ලැබීමට එරෙහිව නෛතික පියවර ගන්නා බව සඳහන් කොට තිබේ.

එය ප්‍රචාරය කිරීම මගින් බීබීසිය කොන්දේසි කඩ කර ඇති බවක් කීවත් එම කොන්දේසි කවරක්ද යන්න ඔහු සඳහන් කොට නැත.

මේ සම්බන්ධයෙන් අදාළ වැඩිදුර පියවර ගන්නා මෙන් ඇමතිවරයා ප්‍රවෘත්ති, ගුවන් විදුලි හා විදේශ අමාත්‍යංශ වලින් ඉල්ලා තිබේ.

චිත්‍රපටයේ පසුබිම

"India's Daughter" වාර්තාමය චිත්‍රපටයට පසුබිම් වන්නේ 2012 වසරේ තරුණියක් දූෂණය කර මරා දැමූ මුකේෂ් සිං සහ තවත් චූදිතයන් තුන් දෙනකු සමඟ පවත්වන ලද සාකච්ඡා.

මරණ දඬුවමට යටත් කර සිටින මුකේෂ් සිං අපරාධය ගැන පශ්චාත්තාප වෙන බවක් නොපෙනෙන අතර ඔහු තරුණියට ද චෝදනා කරයි.

එම වාර්තාමය චිත්‍රපටය විකාශනය සහ එහි කොටස් උපුටා දැක්වීම ඉන්දියානු මාධ්‍යයට තහනම් කොට තිබේ.

(වීඩියෝව: තීන්දු ගැනීමට පෙර වාර්තා චිත්‍රපටය නරඹන ලෙස "India's Daughter" චිත්‍රපටකාරිය ලෙස්ලි අඩ්වින් අගමැති මෝදි ගෙන් ඉල්ලා සිටියි)

ඉන්දීය බලධාරීන් මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය පිළිබඳව අදහස් දක්වන වාර්තා චිත්‍රපටය නිර්මාණය කළ ලෙස්ලි අඩ්වින් (Leslee Udwin) පැවසුවේ බලධාරීන් නොමග ගොස් ඇති බවයි.

"මේ චිත්‍රපටය තිරගතවීම වැළැක්වීමට ගෙන තිබෙන තීරණය මගින් වෙන්නේ ලෝකයට ඉන්දියාව දෙසට ඇඟිල්ල දිගු කරන්න පුළුවන් වෙන එක. ඒක ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන ලක්ෂණ ලෙස ඉදිරිපත් කරන කථා කිරීමේ නිදහසට මොකක්ද දැන් වෙලා තියෙන්නේ," ඇය ප්‍රශ්න කරන්නීය.

අගමැති නරේන්ද්‍ර මෝදි මෙම වාර්තා චිත්‍රපටය අගය කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි ලෙස්ලි අඩ්වින් (Leslee Udwin) ප්‍රකාශ කළේ.

ස්ත්‍රී දූෂකයකු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයකුගේ සාකච්ඡාවක්ද චිත්‍රපටයට අඩංගු වෙයි.

නීතිඥ ඒ.පී.සිංග් A. P Singh පැවසුවේ තම සොහොයුරිය රාත්‍රී කාලයේදී මිතුරකු සමඟ ඇවිදින්නට ගිය හොත් ඔහු ඇයට ගිනි තබන බවයි.

බීබීසී යේ රූපා ජා (Rupa Jha) සමඟ සාකච්ඡාවකට එක්වූ නීතිඥ ඒ.පී.සිංග් (A. P Singh ) තම ප්‍රකාශය වෙනුවෙන් තවදුරටත් පෙනී සිටින බව පැවසුවේය.

අදහස් පරස්පරයි

"India's Daughter" වාර්තාමය චිත්‍රපටය සම්බන්ධයෙන් ඉන්දියාව තුළ පවතින්නේ මතභේදාත්මක තත්වයක්.

ට්විටර් සමාජ වෙබ් අඩවි ඔස්සේ ඉන්දියානුවන් මේ සම්බන්ධයෙන් දක්වන අදහස් පරස්පරයි.

ඉන්දියානු ලේඛක චේතාන් භගාත් ට්විටර් ඔස්සේ "India's Daughter" නැරඹිය යුතු වාර්තාමය චිත්‍රපටයක් බවයි පවසන්නේ.

(හඬ පටය: දිල්ලියේ ස්ත්‍රී දූෂණයට එරෙහිව නැගුනු විරෝධය වැනි උද්ඝෝෂණයක් ශ්‍රී ලංකාවේදී නම් මතුවනු නැති බවයි නීතිවේදිනී නිමල්කා ප්‍රනාන්දු පවසන්නේ)

ඉන්දියානු ලේඛක සනි සින්ග් ට්විටර් ඔස්සේ චිත්‍රපටයට විරෝධය පළ කරයි.

වාර්තා චිත්‍රපටයේ සාකච්ඡාවට සහභාගි වන ස්ත්‍රී දූෂණයට වරදකරු වී මරණීය දණ්ඩනයට ලක්ව සිටින Mukesh Singh පවසන්නේ ස්ත්‍රී දූෂකයන් මෙන්ම දූෂණයට ලක්වූ තරුණියත් එහි වගකීම බාරගත යුතු බවයි.

ඇයත් මේ සිද්ධියේ හවුල්කරුවකු වී ඇති බවයි ඔහු කියා සිටින්නේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP

මේ අදහස් දැනටමත් මතභේදයට ලක්ව තිබේ.

ශ්‍රී ලංකාවේත් පසුගිය කාලයේ රත්නපුරයෙන් දූෂණ සිද්ධි වාර්තා වූ අතර අකුරැස්ස ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලකයන් සම්බන්ධ ස්ත්‍රී දූෂණ සියයක් පමණ සිදුවී ඇති බවටත් වාර්තා විය.

දිල්ලි නුවර මෙම සමූහ දූෂණ සිද්ධිය සම්බන්ධයෙන් විශාල විරෝධයක් පළ වීමෙන් පසුව බලධාරීන් විසින් දූෂකයන් නීතියේ රැහැනට හසු කර ගැනීමට කඩිනමින් පියවර ගැනීම අගය කළ යුතු බවයි මානව හිමිකම් ක්‍රියාධාරිනියක මෙන්ම ස්ත්‍රී දූෂණයට එරෙහි ක්‍රියාකාරිනියක වන නිමල්කා ප්‍රනාන්දු ප්‍රකාශ කළේ.

දිල්ලි දූෂණ සිද්ධියේ ස්ත්‍රී දූෂකයන් කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන ඇය පවසන්නේ එවැනි සිද්ධියකින් පසු සෑම ස්ත්‍රී දූෂකයකුම බොහෝදුරට එම අදහස් පල කරන බවයි.