රුසියාවට දැමූ තහංචියෙන් බැටකන ලංකාවේ තේ

ඡායාරූප මූලාශ්‍රය, AFP
රුසියාවේ මුදල් ඒකකය වන රූබල් හි අගය වාර්තාගත අන්දමින් අවප්‍රමාණ වීම නිසා ශ්‍රී ලංකාවේ තේ අපනයනයට ඉතා අහිතකර තත්වයක් උදා වී ඇති බව තේ අපනයනකරුවෝ පවසති.
ශ්‍රී ලංකාවේ තේ අපනයනය පහළ වැටෙමින් තිබෙන අවධියක ප්‍රධාන ගැනුම්කරුවකු වන රුසියාවේ මුදල අවප්‍රමාණ වීම නිසා තේ අපනයනකරුවන් තවත් අර්බුදකාරී තත්වයකට පත් වී ඇති බවයි ඔවුන් පවසන්නේ.
2013 දී රුසියාවට තේ මෙට්‍රික් ටොන් හතළිස් දෙදහසක් යවා ඇති නමුත් 2014 දී එය මෙට්‍රික් ටොන් තිස් අටදහස දක්වා පහත වැටී ඇති බවයි ශ්‍රී ලංකාවේ තේ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති රොහාන් ප්‍රනාන්දු බීබීසීයට කියා සිටියේ.

ඡායාරූප මූලාශ්‍රය, Rohan Fernando
කඩා වැටීමක්
‘දැන් එතනම තියෙනවා කඩා වැටීමක්. ඒකට රුසියාව මෙන්ම ඉරානය සහ සිරියාව තුළ ඇති වී තිබෙන තත්වයත් බලපෑවා. තේ අපනයනයෙන් සියයට තිහක් පමණ යැවෙන්නේ මේ රටවල් තුනට.’ සභාපති රොහාන් ප්‍රනාන්දු පැවසීය.
රුසියාවෙන් ගිලිහී යන වෙළඳපළ හිඩැස වසා ගැනීමට වෙනත් රටවල් කෙරෙහි යොමු වීම සඳහා රජයේ මැදිහත් වීම අවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය.
තේ අපනයනය ප්‍රවර්ධනය කිරීම සඳහා පිහිටුවා ගත් අරමුදල වසර තුනක් තිස්සේ තේ මණ්ඩලය විසින් ප්‍රයෝජනයට ගෙන නැති බවත් නව වෙළඳපළක් සොයා ගැනීම සඳහා එය නොපමාව යොදා ගත යුතු බවත් ශ්‍රී ලංකාවේ තේ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති රොහාන් ප්‍රනාන්දු පවසයි.
රුසියාවේ මුදල් ඒකකය අවප්‍රමාණ වීමට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ යුක්‍රේන අර්බුදය හමුවේ රුසියාවේ ක්‍රියා කලාපය දෝෂ දර්ශනයට ලක් කරමින් ලෝක බලවතුන් රුසියාවට තහංචි පැනවීමයි.
මේ අතරතුර ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළ යාම නිසාද රුසියානු ආර්ථිකයට විශාල පාඩුවක් වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Dr Mohamed Rumie
ඇණවුම් අඩු කරලා
මෙම තත්වය ශ්‍රී ලංකාවේ තේ අපනයනයට දැනටමත් අහිතකර ප්‍රතිඵල උදා කර ඇති බවයි රුසියාවට තේ අපනයනය කරන ව්‍යාපාරිකයෙකු වන ආචාර්ය මොහොමඩ් රූමි කියා සිටියේ.
‘පසුගිය මාස දෙක තිස්සේ අලෙවිය අඩු වෙන්න පටන් ගත්තා. දැනටමත් අපේ ඇණවුම් අඩු කරලා තියෙන්නේ. මේක අපේ තේ අපනයනයට බරපතල ලෙස බලපාල තියෙනවා.
රූබල් මුදලේ අගය පහළ යාම කවදා නවතීද කියා අපේ ගැනුම්කරුවන්ටවත් හිතා ගන්න බැහැ.’ ආචාර්ය මොහොමඩ් රූමි පැවසීය.
මෙම අර්බුද කාරී තත්වය හමුවේ දේශීය අපනයනකරුවන් බේරා ගැනීම සඳහා රජය මැදිහත් වී යම්කිසි වැඩපිළිවෙලක් කඩිනම්ව දියත් කළ යුතු බවයි ඔහු තව දුරටත් කියා සිටියේ.








