‘ඇතැම් කටකතා යථාර්ථයක් වෙනවා’- කෙහෙළිය

කෙහෙළිය රඹුක්වැල්ල
ඡායාරූප ශීර්ෂ වැකිය, කෙහෙළිය රඹුක්වැල්ල

ශ්‍රී ලංකාවේ තීරණාත්මක මැතිවරණවල දී දේශපාලන පිල් මාරු වීම් සහ ඒ සම්බන්ධයෙන් කටකතා පැතිර යාම සාමාන්‍ය දෙයක් බව ජන මාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

සෞඛ්‍යය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන විපක්ෂයට එක් වෙන බවට පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳව අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී අදහස් පළ කරමිනුයි ඔහු එම අදහස් පළ කළේ.

‘මැතිවරණ කාලවල බොහෝ ප්‍රචාර පළ වෙනව. කටකතා පැතිර යනවා, පෙළක් වෙලාවට ඒවා යථාර්ථයක් බවට පත් වෙනවා, ඉතින් ඒ ඔක්කොම මේ ඉදිරි දින දෙක තුළ බලා ගන්න පුළුවන්’ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා කියා සිටියි.

මෛත්‍රිපාල සිරිසේන ඇමතිවරයා විපක්ෂයට නොයන බවට තමා තුළ විශ්වාසයක් ඇති බව පැවසූ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, බදාදා (19) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමට ඔහු සක්‍රිය සහභාගි වූ බවයි ප්‍රකාශ කළේ.

මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයා

මෛත්‍රීපාල සිරිසේන

ඡායාරූප මූලාශ්‍රය, newsfirst

ඡායාරූප ශීර්ෂ වැකිය, මෛත්‍රීපාල සිරිසේන

ඉහත කී කට කතා හා වාර්තා නිවැරදි නොවන්නේ නම් අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකරන්නේ කුමක් නිසාදැයි සංදේශය ප්‍රශ්න කළ විට කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා කියා සිටියේ, මෛත්‍රිපාල සිරිසේන ඇමතිවරයා ඔහු ආණ්ඩුවෙන් ඉවත් නොවන බව අවශ්‍ය තැන්වල දී ප්‍රකාශ කර ඇති බවයි.

‘එය ප්‍රසිද්ධියේ කියන්න එතුමා එතුමාගේ කාලය නාස්ති කරන්නේ නැහැ, සමාජයට ඒ ගැන කියන්න ගියාම එහෙම එකක් තියෙනවා කියල එතුමා භාර ගැනීමක් සිදු වෙනවා’ මෛත්‍රිපාල සිරිසේන ඇමතිවරයාගේ නිහඬතාවයට හේතු පැහැදිලි කරමින් කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා පවසයි.

ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රීවරුන් විපක්ෂයට නො යන බවට සහතිකයක් දිය හැකි දැයි විමසූ විට අමාත්‍යවරයා සඳහන් කළේ මන්ත්‍රීවරුන් 162 ක් හා දේශපාලන පක්ෂ දාහතරක් නියෝජනය වෙන ආණ්ඩුවකට එවැනි සහතිකයක් දීමට නො හැකි බවයි.