විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට 'පොලිසිය පහර දුන්නා'

සම සෞඛ්‍ය උපාධිය කප්පාදු කිරීමට එරෙහිව ශිෂ්‍යයෝ දින 150 කට වැඩි කාලයක් උද්ඝෝෂණයේ
ඡායාරූප ශීර්ෂ වැකිය, සම සෞඛ්‍ය උපාධිය කප්පාදු කිරීමට එරෙහිව ශිෂ්‍යයෝ දින 150 කට වැඩි කාලයක් උද්ඝෝෂණයේ

අත් අඩංගුවට ගැනුණු විශ්ව විද්‍යාල ශිෂ්‍ය නායකයන් පිරිසකට දරුණු අන්දමින් පහර දුන් බවට ශිෂ්‍ය නියෝජිතයන් පොලිසියට චෝදනා කරනවා.

සම සෞඛ්‍ය උපාධිය කප්පාදු කිරීමට එරෙහිව කොළඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපස පැවැත් වූ උද්ඝෝෂණයකින් අනතුරුවයි, ඔවුන් මෙසේ පහර කෑමට ලක් වී තිබෙන්නේ.

ශිෂ්‍යයන් විසිර යමින් සිටියදී සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් කුරුඳුවත්ත පොලිසිය අසලදී ශිෂ්‍යයන් සිවු දෙනකු අත් අඩංගුවට ගෙන කිරුලපන පොලිසියට රැගෙන ගිය බවයි, නම හෙළි නොකරන මෙන් ඉල්ලා සිටි ශිෂ්‍ය නියෝජිතයෙක් බීබීසී සංදේශයට කියා සිටියේ.

ඉන් අනතුරුව තවත් ශිෂ්‍යයන් දහ තුන් දෙනකු කොළඹ කොටුව බලා ගමන් කරමින් තිබුන බස් රථයකදී අත් අඩංගුවට ගත් බවත් ශිෂ්‍යයෝ පවසති.

බස් රථය අතර මඟ නතර කොට එය කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානට ගෙන ගොස් මගීන් ඉදිරියේදී අත් අඩංගුවට ගැනුණු ශිෂ්‍ය කණ්ඩායමට පොලිසිය පහර දුන් බවත් ප්‍රකාශකයා සංදේශයට කියා සිටියේය.

මේ චෝදනා පිළිබඳව විමසූ අවස්ථාවේදී පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පැවසුවේ බලය පාවිච්චි කොට ඇති බව සත්‍යයක් නමුත් අමානුෂික ලෙස පහර දුන් බවට කරන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවයි.

පේරාදෙණිය, රුහුණ සහ නැගෙනහිර විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය නායකයන් අත්අඩංගුවට ගෙන ඇතිබවයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පවසන්නේ.

සම සෞඛ්‍ය උපාධිය කප්පාදු කිරීමට එරෙහිව දින 150 කට වැඩි කාලයක් රට පුරා ස්ථාන ගණනාවක ශිෂ්‍යයෝ උද්ඝෝෂණයේ යෙදී සිටිති.