'ප්‍රධාන ප්‍රහාරකයා හැසිරුණේ තිරිසනෙක් ලෙස'

ඝාතනයේ සැකකරුවකු වන තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදානපතිරණ
ඡායාරූප ශීර්ෂ වැකිය, ඝාතනයේ සැකකරුවකු වන තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදානපතිරණ

බ්‍රිතාන්‍ය සංචාරකයකු වන කුරාම් ෂයික් ඝාතනය කිරීම පිළිබඳ නඩු විභාගයේදී, කුරාම් ෂයික් ගේ පෙම්වතියට දරුණු ලෙස පහර දුන් අයුරු සාක්ෂි කරුවෙකු විසින් අනාවරණය කරන ලදී.

වසර 2011 දී සිදු වූ මෙම ඝාතනයට පුද්ගලයෝ සය දෙනෙක් චෝදනා ලැබ සිටිති.

ප්‍රහාරක කල්ලියේ අනෙකුත් සාමාජිකයන් බලා සිටිය දී කුරාම් ෂයික්ගේ පෙම්වතියට බිඳුණු බෝතලයකින් මුහුණට ගසන අයුරු තමා දුටු බව දේශීය සංචාරකයකු වන ප්‍රසන්න සමරසිංහ අධිකරණයේ දී පැවසුවේය.

‘මුර්ගයකු ලෙස’

රුසියානු ජාතික කාන්තාවක් වන වික්ටෝරියා කාචේවාට පසු පස එලවා පහර දුන් බව පැවසු සාක්ෂිකරු ඇය පිහිනුම් තටාකයට පනිනතෙක්ම පහර දුන් බවද කියා සිටියේය.

රුසියානු ජාතික වික්ටෝරියා කාචේවා උසාවියට පැමිණෙමින්
ඡායාරූප ශීර්ෂ වැකිය, රුසියානු ජාතික වික්ටෝරියා කාචේවා උසාවියට පැමිණෙමින්

ප්‍රධාන ප්‍රහාරකයා හැසිරුණේ ‘තිරිසනෙක්’ විලසින් යැයිද ඔහු තව දුරටත් පැවසීය.

කුරාම් ෂයික් සිහි සුන්ව වැටී සිටිනු දුටු ඇය විලාප දෙමින් හඬා වැටෙමින් ඔහු වත්තම් කරද්දී කල්ලියේ එක් අයෙකු ගිණි පෙලෙල්ලකින් ඇයට පහර දුන් බවත් සාක්ෂිකරු කියා සිටියේය.

මෙම කණ්ඩායම පිඟන් පොළොවේ ගසමින් විදුලි බුබුළු සහ වාහන ජනේලවලට හානි කරමින් මේස සහ ත්‍රීරෝද රථ පෙරලා දැමු ආකාරය ඔහු දැක තිබේ.

‘සුද්දිව මෙහාට ගෙනෙන්’

පොලු මුගුරු අමෝරා පැමිණි මේ කණ්ඩායමේ කිහිප දෙනෙකුගෙන් ඔහු බේරී තිබෙන්නේ බැගෑපත් වීමෙන්.

තුන් වන සැකකරු වන ප්‍රාදේශීය සභාපති සම්පත් විදානපතිරණ ‘සුද්දිව මෙහාට ගෙනෙන්’ යනුවෙන් මොර ගැසූ බවත් කල්ලියේ කිහිප දෙනෙකු වෑන් රථයක නැගී ගිය බවත් නමුත් ඔවුන් කවුද යන්න නිශ්චිතව ම පැවසිය නොහැකි බවත් සාක්ෂිකරු කියා සිටියේය.

කුරාම් ෂයික්

ඡායාරූප මූලාශ්‍රය, bbc

ඡායාරූප ශීර්ෂ වැකිය, කුරාම් ෂයික්

එක් පුද්ගලයකු ගිනි අවියක් අතැති ව හෝටලය තුළ සිටිනු තමා කලින් දුටු බවත් ප්‍රසන්න සමරසිංහ පැවසීය.

තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු විත්තිකරුවෝ සියලු චෝදනා ප්‍රතික්‍ෂේප කරති.

පහර කෑමෙන් තමා සිහිසුන් වූ අයුරු සහ අධික ලේ ගැලීමෙන් දරුණු වේදනාවකට ගොදුරු වී සිරුර ඉදිමී තිබු අයුරු මීට ඉහතදී කුරාම් ෂයික් ගේ පෙම්වතිය සාක්ෂි දෙමින් විස්තර කර තිබිණ.

ගිනි අවියක් එල්ල කරමින් මරණීය තර්ජන එල්ල කළ අයුරු මෙම හෝටලේ කලමණාකාරනී තරංගා පීරිස් තම සාක්ෂි ඉදරිපත් කරමින් කියා සිටියාය.