සුළු ජාතික ඡන්ද අඩු වෙලා - ආණ්ඩුව

ඡායාරූප මූලාශ්‍රය, AFP Getty Images
සෙනසුරාදා පැවැත්වුණු පළාත් සභා මැතිවරණයේදී ජනතාව දුන් තීන්දුවට හිස නමන බව පවසන ආණ්ඩුව, ජනතා මතය අනුව ආණ්ඩුවේ ගමන් මඟ වෙනස් කිරීමට සූදානම් බව ප්‍රකාශ කරයි.
සභානායක අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා ඒ බව කියා සිටියේ, දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින්.
"අපේ රජය නිහතමානීව ඒ ජනතාව දෙන සංඥා පිළි ගැනීමට කැමති රජයක්. අඩුපාඩුකම් ඇති. අපි ඉදිරියේදී ඒවා සොයා බලලා, අපේ අනාගත වැඩපිළිවෙල සකස් කර ගන්නට ඕනේ," යනුවෙන්ද ඔහු පැවසීය.
සුළු ජාතික ඡන්ද
පළාත් සභා දෙකෙන්ම පහසු ජයග්‍රහණයක් අත් කර ගත් නමුත්, පසුගිය මැතිවරණයට සාපේක්ෂව ආණ්ඩුවේ ආසන සංඛ්‍යාව මෙන්ම ඡන්ද ප්‍රමාණයද පහත වැටී තිබේ.
ආණ්ඩුවේ ඡන්ද ප්‍රමාණය මෙසේ පහත වැටී තිබෙන්නේ, විශේෂයෙන්ම හම්බන්තොට ඇතුළු දකුණු පළාතේ ආණ්ඩුව දැවැන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අතරවාරයේදී.
ජාතිවාදී මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් පවත්වා ගෙන ගිය බවට විරුද්ධ පක්ෂවලට චෝදනා කරන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර, දකුණු පළාතේදී පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබුණු සුළු ජාතික ඡන්ද ප්‍රමාණය අඩු වීමට එය හේතුවක් වූ බව බීබීසී සංදේශයට පැවසීය.
කෙසේ නමුත් පළාත් සභා මැතිවරණයෙන් ආණ්ඩු පක්ෂ සන්ධානය විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කර ඇති බවයි, මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා පවසන්නේ.
රාජ්‍ය මාධ්‍ය යොදා ගනිමින් මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට එල්ල වන චෝදනා මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කළේය.








