විපක්ෂ නායක මැතිවරණ කොමසාරිස් අමතයි

නිදහස් සහ සාධාරණ මැතිවරණ ව්‍යාපාරයක් තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග අනුගමනය කරන මෙන් විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කරයි.

විපක්‍ෂ නායකවරයා එම ඉල්ලීමක් කරන්නේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය වෙත යොමු කරනු ලැබ ඇති <link type="page"><caption> ලිපියක් මගින්.</caption><url href="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/03/140319_lanka_ranil.shtml" platform="highweb"/></link>

‘හිරිකිතයකින් තොරව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හෙවත් මැතිවරණ ව්‍යාපාරයේ මාධ්‍ය ආවරණය’යන තේමාව යටතේ ලියා ඇති එම ලිපිය මගින් විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ කියා සිටින්නේ ‘මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේ පටන්ම රාජ්‍ය මාධ්‍ය සහ ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආයතන හිරිකිතයකින් තොර ව සිදු කරන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට දැඩි විරෝධය පළ කරන’ බවයි.

මෙම මැතිවරණ ව්‍යාපාරයේම කොටසක් වශයෙන් මෙකී කාලය තුළ පැවැත්වෙන ‘ඊනියා’ රාජ්‍ය උත්සවවලට සහභාගී වෙන ජනාධිපතිවරයා ජනතාව අමතන්නේ ජනාධිපති වශයෙන් නොව දේශපාලන පක්‍ෂයක නායකයා වශයෙන් බවයි, විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිවරණ කොමසාරිස්වරයාට පෙන්වා දෙන්නේ.

මැතිවරණ කොමසාරිස්ගේ මාධ්‍ය උපමාන

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය

ඡායාරූප මූලාශ්‍රය, ITN

ඡායාරූප ශීර්ෂ වැකිය, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය

ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා හෝ රජයේ අමාත්‍යවරු සම්බන්ධ වන දේශපාලනමය මත පළ කෙරෙන විද්‍යුත් හෝ මුද්‍රිත වැඩ සටහන් ඔවුන් අයත් දේශපාලන පක්ෂයේ වැඩ සටහන් ලෙස සැලකිය යුතු අතර ඊට සමාන අවස්ථා එම මාධ්‍ය මගින් විරුද්ධ අදහස් දරන දේශපාලන පක්ෂ වලටත් දිය යුත් බව දක්වමින් මැතිවරණ කොමසාරිස්වරයා විසින් ම නිකුත් කරනු ලැබ ඇති මාර්ගෝපදේශ උපුටා දක්වමින් කරුණු පැහැදිලි කරන විපක්ෂ නායකයා පෙන්වා , යම්කිසි පක්ෂයකට හෝ කණ්ඩායමකට හෝ අපේක්ෂකයකුට විශේෂ සැලකිල්ලක් දක්වමින් සෙසු අපේක්ෂකයන්ට අගතියක් වන අයුරින් ගුවන් කාලය හෝ ප්‍රවෘත්ති පත්‍ර ඉඩකඩ වෙන් කිරීම නොකළ යුතු බවයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට මාධ්‍ය ආවරණ ලබා ගැනීමේ හිමිකම එම ධුරයට අයත් අයිතිවාසිකමක් වශයෙන් කොතැනකවත් සඳහන් නොවන බව පෙන්වා දෙන විපක්‍ෂ නායකවරයා, ජනාධිපතිවරයා සහ ඔහුගේ පක්ෂය හෙලිකොප්ටර් සහ රාජ්‍ය දේපොළ පාවිච්චි කරන බව පෙනී යන බවත්, තමාට ලැබී ඇති විශ්වාසදායක තොරතුරු අනුව ඒ වෙනුවෙන් මුදල් ගෙවීමක් සිදු කර නැති බවත් කියා සිටියි.

මැතිවරණ කාලය තුළ ජනාධිපතිවරයාට දෙන මාධ්‍ය ආවරණයට සමාන ආවරණයක් විරුද්ධ පක්ෂයේ නායකයා වශයෙන් තමාටත් ලැබිය යුතු බව තමා නායකත්වය දෙන එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය වන බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉහත කී ලිපිය මගින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය වෙත දැනුම් දෙයි.