‘ටෙන්ඩර් නැත්තේ දූෂණ නිසා ’- එ.ජා.ප.

ආණ්ඩුව මහා පරිමාණ ව්‍යාපෘතීන් ටෙන්ඩර් කැඳවීමකින් තොරව තමන්ට හිතවත් දූෂිත සමාගම්වලට වංචා සහගත ලෙස ලබා දෙන බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි.
මේ හේතුව නිසා වර්තමානයේ රට තුළ ඉදි කෙරෙන අධිවේගී මාර්ග සඳහා ඒවාට සාමාන්‍යයෙන් වැය වන මුදලට වඩා ඉතා අධික මුදලක් දැරීමට ජනතාවට සිදුව ඇති බවයි, එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පවසන්නේ.
මන්ත්‍රීවරයා එම අදහස් පළකළේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැත්වුන මාධ්‍ය හමුවක් අමතමින්.
එම චෝදනා ප්‍රතික්ෂේප කරන ආණ්ඩුව පවසන්නේ, මහා පරිමාණ ව්‍යාපෘති සඳහා සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කල නොහැකි බවයි.
ටෙන්ඩර් නැතිව

ඡායාරූප මූලාශ්‍රය, courtesy RDA Sri Lanka
අධිවේගී මාර්ග වියදම සලකා බැලීමේ දී තරඟකාරී ලෙස මිල ගණන් ලබා ගත්තේ නම් ඒවාට දැනට යන වියදමට වඩා ඉතා අඩු මුදලකින් එම මාර්ග ඉදි කළ හැකි බවයි , මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පවසන්නේ.
" දක්ෂිණ අධිවේගී මාර්ගයට කිලෝ මීටරයට ගියේ රුපියල් මිලියන 900 යි., නමුත් කෙරවලපිටිය- කඩවත අධිවේගී මාර්ගයට කිලෝ මීටරයකට යනවා රුපියල් මිලියන 6700 කට වැඩි මුදලක්. අධිවේගී මාර්ග ඔක්කොම එක මුදලට හදන්න බැහැ ,නමුත් වියදම හය ගුණයකින් වැඩි වෙන්න බැහැ, මෙතන තියෙන්නේ ගසා කෑමක්." යයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා කියා සිටියේය.
මුදල් අමාත්‍යංශයේ චක්‍රලේඛවලට අනුව තරඟකාරිත්වයකින් තොර ව ව්‍යාපෘතියක් ලබා දිය හැක්කේ අති විශේෂ කාරණා වලදී පමණක් බව පවසන මන්ත්‍රීවරයා, නමුත් අද ව්‍යාපෘති බොහොමයක් ලබා දෙන්නේ කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොර ව යයි පෙන්වා දෙයි.
පුහු විවේචන

මුදල් අමාත්‍යංශයේ ලේකම් පී.බී. ජයසුන්දර ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට ප්‍රකාශයක් කරමින් පවසා තිබුණේ මහා පරිමාණ ව්‍යාපෘති සඳහා සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කල නොහැකි බවයි. එවැනි ව්‍යාපෘති පිළිබඳව සියලු තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි ලේකම්වරයා පවසන්නේ.
මහා පරිමාණ ව්‍යාපෘති සඳහා සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කළ නොහැකි බවට මුදල් අමාත්‍යංශයේ ලේකම් පි බි ජයසුන්දර කරන ප්‍රකාශය සම්බන්ධයෙන් ද එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා විරෝධය පළ කළේය.
රජයේ මහා පරිමාණ ව්‍යාපෘති පිළිබඳව විපක්ෂය පුහු විවේචන ඉදිරිපත් කරමින් සිටින්නේ රටේ වර්තමාන සංවර්ධනය දරා ගැනීමට ඔවුන්ට නොහැකි නිසා යයි ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර සංදේශයට ප්‍රකාශ කළේය.
තරගකාරී ලෙස මිල ගණන්කැඳවා කොන්ත්‍රාත් ලබා දුන්නේ නම් එය රටට වාසිදායක විය හැකි නොවේදැයි සන්දේශය විමසූ විට මන්ත්‍රීවරයා කියා සිටියේ, බොහෝ ව්‍යාපෘති විවිධ රටවල ආධාර මුදල් මත සිදු කෙරෙන හෙයින් ඔවුන්ගේ ඇතැම් කොන්දේසිවලට රජයට එකඟ වීමට සිදු වන බවයි.








