ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලීමට නීතිවේදීහු එක්වෙති

ශ්‍රී ලංකාවේ යුද අපරාධ චෝදනා සම්බන්ධ ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංවිධානයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලා සිටියි.
ලන්ඩනය මුලස්ථාන කොට ගත් ජාත්‍යන්තර නීතිවේදීන්ගේ මානව හිමිකම් ආයතනය (IBAHRI) බ්‍රහස්පතින්දා තම ඉල්ලීම ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ මහ කොමසාරිස් නවී පිල්ලේ විසින් ප්‍රකාශයට පත් කරන ලද අලුත්ම වාර්තාවෙන් යෝජනා කොට ඇති පරිදි අතීත මානව හිමිකම් නීති උල්ලංඝන ද විභාග කළ යුතු බවයි.
රජය හා එල්ටීටී ඊය අතර සන්නද්ධ ගැටුම හමාර වීමෙන් අනතුරුව විධායක බලය සම්බන්ධ සංවරණ හා තුලන විධිවිධාන ක්‍රමානුකුලව ඉවත් කෙරෙන බව IBAHRI සම සභාපතිනි හෙලේනා කෙනඩි පවසන්නීය.
ශ්‍රී ලංකාවේ ස්වාධීන අධිකරණයක් නොමැති බවට චෝදනා කරන ඇය, එසේ හෙයින්, ‘මානව හිමිකම් උල්ලංඝන හා යුද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ට කිරීමට ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය කිහිප වර අසමත් වී ඇතැ’යි වැඩිදුරටත් පවසා තිබේ.




