ආණ්ඩුවේ අපේක්ෂකයන් දෙදෙනෙක් අත් අඩංගුවට

යුද හමුදා නිළ ඇඳුමෙන් සැරසී ගමන් කිරීම ගැන පාලක පක්ෂ අපේක්ෂකයකුට චෝදනා

ඡායාරූප මූලාශ්‍රය, Caffe

ඡායාරූප ශීර්ෂ වැකිය, යුද හමුදා නිළ ඇඳුමෙන් සැරසී ගමන් කිරීම ගැන පාලක පක්ෂ අපේක්ෂකයකුට චෝදනා

මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධයෙන් චෝදනා ලබන ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

නාම යෝජනා භාර දීමෙන් අනතුරුව නීති විරෝධී ලෙසින් පෙළපාලියකින් ගමන් කරමින් පොලිස් නිලධාරියකුට පහර දීමේ චෝදනා මත හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකු වන අජිත් ප්‍රසන්න අත් අඩංගුවට ගත් බවයි, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ බීබීසී සංදේශයට කියා සිටියේ.

විශ්‍රාමික හමුදා නිලධාරියකු වන ඔහු යුද හමුදා නිළ ඇඳුමෙන් සැරසී ගමන් කිරීමත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසීය.

"ඔහු අත් අඩංගුවට ගැනීමට ඊයේ රෑ පොලිස් කණ්ඩායම් තුනක් ගියා. නමුත් ඔහු පලා ගොස් තිබුනා. නමුත් අද දින කොළඹදී අත් අඩංගුවට ගත්තා," යනුවෙන්ද ඔහු පැවසීය.

'ව්‍යාජ නාම යෝජනා'

එමෙන්ම මිද්දෙනියේදී දෙදෙනකුට පහර දීම සම්බන්ධ චෝදනා මත දකුණු පළාත් සභාවේ හිටපු ඇමතිවරයකු වන ඩීවී උපුල් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදා හැරුණු බවද පොලිස් ප්‍රකාශකවරයා පැවසීය.

අපක්ෂපාතීව මෙහෙයුම් සිදු කරන බව පොලිස් ප්‍රකාශකවරයා පවසයි
ඡායාරූප ශීර්ෂ වැකිය, අපක්ෂපාතීව මෙහෙයුම් සිදු කරන බව පොලිස් ප්‍රකාශකවරයා පවසයි

මේ වන විට හැත්තෑවකට වැඩි මැතිවරණ නීති කඩ කිරීම් සම්බන්ධයෙන් වාර්තා ලැබී ඇති බවයි, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය පවසන්නේ.

ඒ අතරින් ප්‍රචණ්ඩ ක්‍රියා වැඩියෙන්ම වාර්තා වී තිබෙන්නේ දකුණු පළාත් සභා මැතිවරණ ව්‍යාපාරයේයි.

ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් නව සම සමාජ පක්ෂය ඉදිරිපත් කළ නාම යෝජනා අතර ව්‍යාජ නාම යෝජනා තිබෙන බවට සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේය.

එම චෝදනාවට ප්‍රතිචාර දක්වන නව සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න බීබීසී සංදේශයට කියා සිටියේ, විශ්‍රාමිකයන්ගේ ගැටළු සාකච්ඡා කිරීම පිණිස විශ්‍රාමික ගුරු සංගමයේ නියෝජිතයන්ද සිය ලැයිස්තුවට ඇතුලත් කර ගත් බවයි.

එහිදී කිසියම් කුමන්ත්‍රනකාරී ක්‍රියාවක් සිදු වී ඇත්ද යන්න පිළිබඳව තමන් විමසා බලන බවද ඔහු සඳහන් කළේය.

දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණ ලබන මාර්තු 29 වැනි දින පැවැත්වීමට නියමිතයි.