කොටින්ගේ යුද අපරාධත් වාර්තා කළා - කැලම් මැක්රේ

Callum Macrae in Katunayake
ඡායාරූප ශීර්ෂ වැකිය, 'එල්ටීටීඊ ය යුද අපරාධ කළා, බලහත්කාරෙන් ළමුන් යුද්දෙට බඳවා ගත්ත, ඒ වගේම යුද්දෙට කොටු වෙලා හිටපු අය පලා යන එක ඔවුන් වැළැක්වුවා කියල අපි කියල තියෙනව'

බ්‍රිතාන්‍යයේ චැනල්4 නාලිකාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන දිනවල සිදු වූ බවට චෝදනා නැගෙන යුද අපරාධ පිළිබඳව වාර්තා චිත්‍රපට ගණනාවක්ම නිර්මාණය කළ කැලම් මැක්රේ කටුනායක ගුවන් තොටුපොලෙන් ශ්‍රී ලංකාවට පැමිණෙද්දී සියයකට අධික පිරිසක් ඔහුට විරෝධය පළ කළහ.

කැලම් මැක්රේට රිසි සේ වාර්තා කිරීම සඳහා රජය වීසා ලබා දී ඇති බව කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටි කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා, ඔහු හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකාවට පහර එල්ල කළ මාධ්‍යවේදීන් අතර ප්‍රධානියෙක් ලෙසින්.

එමෙන්ම එල්ටීටීඊ හිතවාදී ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාව වෙනුවෙන් 'කුලියට වැඩ කරන්නෙකු' ලෙසටද ඔහුට චෝදනා කළ ජනමාධ්‍ය අමාත්‍යවරයා, ඒ චෝදනා ඉවත් කර ගැනීම පිණිස මෙය කදිම අවස්ථාවක් විය හැකි බවද සඳහන් කළේය.

'දෙපැත්තෙන්ම අපරාධ'

Minister Rambukwella
ඡායාරූප ශීර්ෂ වැකිය, 'ශ්‍රී ලංකාවට පහර එල්ල කළ මාධ්‍යවේදීන් අතර ප්‍රධානියෙක්'

කොටි කැරලිකරුවන් සමඟ සම්බන්ධතා පැවති බවට එල්ල වන චෝදනා කැලම් මැක්රේ මාධ්‍යවේදියා දිගින් දිගටම තරයේ ප්‍රතික්ෂේප කරයි.

ගුවන් තොටුපොලේදී මාධ්‍යවේදීන් ඇමතූ ඔහු යලිත් වරක් එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය.

"මේක හුඟක් දෙනෙක් අමතක කරන දෙයක්, එල්ටීටීඊ ය යුද අපරාධ කළා, බලහත්කාරෙන් ළමුන් යුද්දෙට බඳවා ගත්ත, ඒ වගේම යුද්දෙට කොටු වෙලා හිටපු අය පලා යන එක ඔවුන් වැළැක්වුවා කියල අපි කියල තියෙනව," යනුවෙන් ඔහු කියා සිටියේය.

"දෙපැත්තෙන්ම අපරාධ කෙරුණා කියල අපි පැහැදිලිව කිවුව. නමුත් වැඩි පිරිසක් මිය ගියේ ආණ්ඩුවේ ෂෙල් ප්‍රහාරවලින් කියන එක සාක්ෂි අනුව ඉතාම පැහැදිලියි."

කැලම් මැක්රේ ඇතුළු බ්‍රිතාන්‍ය මාධ්‍යවේදීන් තිස් දෙනකු රාජ්‍ය නායක සමුළුව වාර්තා කිරීම පිණිස පැමිණෙන බවද අමාත්‍ය රඹුක්වැල්ල පැවසීය.