චැනල්4 නාලිකාවට 'තවමත් මාධ්‍ය අවසරපත් නෑ'

Commonwealth leaders
ඡායාරූප ශීර්ෂ වැකිය, මෙතෙක් අවසරපත් නිකුත් නොකෙරුණ එකම බ්‍රිතාන්‍ය මාධ්‍ය ජාලය තමන් පමණක් බව චැනල්4 නාලිකාව පවසයි

නොවැම්බර් මාසයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා මාධ්‍යවේදීන්ට අවසර පත් නිකුත් කිරීම බොහෝ දුරට හමාර වී තිබුණත්, බ්‍රිතාන්‍යයේ චැනල්4 නාලිකාව වෙනුවෙන් තවමත් මාධ්‍ය අවසරපතක් නිකුත් කොට තිබෙන්නේ කැමරා ශිල්පියෙකු වෙනුවෙන් පමණක් බව චැනල්4 නාලිකාව පවසයි.

අවසරපත් නිකුත් කිරීම බොහෝ දුරට අවසන් බව සඳහන් මාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් ගේ ට්විටර් පණිවුඩයකට පිළිතුරු දෙන චැනල්4 නාලිකාවේ ජොනතන් මිලර් මාධ්‍යවේදියා මෙම ප්‍රමාදයට හේතුව කවරක් දැයි විමසීමක් කොට තිබිණ.

තම ඉල්ලුම්පත් තවමත් ප්‍රතික්ෂේප වී නොතිබුණත්, දැනගන්නට ලැබී තිබෙන අන්දමට මෙතෙක් මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් නොකෙරුණ එකම බ්‍රිතාන්‍ය මාධ්‍ය ජාලය තමන් පමණක් බවයි, මේ පිළිබඳව කළ විමසීමකදී චැනල්4 නාලිකාවේ ප්‍රකාශිකාවක් සංදේශයට කියා සිටියේ.

මේ පිළිබඳව ලන්ඩනයේ පිහිටි පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයෙන් විමසීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.